ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න
අද (9) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා විසින් මූල්‍ය ස්ථාවරත්වය පදනම් කර ගනිමින් අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය සඳහා කුමන ආකාරයේ මැදිහත් වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වනවාද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමියගෙන් විමසා සිටියා.
එයට පිළිතුරු ලෙස අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ ලබන වසරේ සිට හය වසරේ ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් පහසුකම් සැපයීමට අවශ්‍ය යටිතල පහසුකම් මේ වෙනකොට සැලසුම් කර ඇති බවයි.
එසේම වෘත්තීයේ අධ්‍යාපන ක්ෂේත්රයෙන් උසස් අධ්‍යාපනයට සමානව ලැබිය යුතු පුහුණුව සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ මධ්‍යස්ථාන පනහක් සෑදීමටත් සැලසුම් කර ඇති බවත් සඳහන් කළා. ඇය වැඩිදුරටත් කියා සිටියේ,
"අධ්‍යාපන ක්ෂේත්රයේ 2025/26/27 වසර තුළ යටිතල පහසුකම් වර්ධනය කිරීමට විශාල මෙහෙයුමක් අපි දියත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් වලට අත්‍යවශ්‍ය වන ගොඩනැගිලි සේවාවන් උපකරණ මේවා සියල්ලම අපි දෙමින් පවතිනවා ප්‍රාථමික අධ්‍යාපනයේ මේ අවුරුද්දේ අපි අලුත් විෂය නිර්දේශය දියත් කරපු නිසා ප්‍රාථමික පාසල් වලට අපි විශේෂ අවධානයක් තියල ඒවා නවීකරණය කරන වැඩසටහනක් මේ වෙලාවේ ක්‍රියාත්මකයි ඒ වගේම තමයි එන අවුරුද්දේ සිට හය වසරේ ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් පහසුකම් සපයන්න ඒ යටිතල පහසුකම් මේ වෙනකොට අපි සැලසුම් කරලා දියත් කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු පහක සැලැස්මක් හදලා තියෙනවා වෘත්තීයේ අධ්‍යාපන ක්ෂේත්රයෙන් විශාල පිම්මක් ලබාගන්න. ඒ කියන්නේ එන අවුරුද්දේ සිට හඳුන්වා දෙන වෘත්තීය අධ්‍යාපන ධාරාව තුළ ඒ ධාරාවේ ඉවරවෙලා දරුවෙක් එළියට යනකොට ඒ ක්ෂේත්රයට අඳාළ උසස් අධ්‍යාපනයට සමානව ලැබිය යුතු පුහුණුව සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ මධ්‍යස්ථාන පනහක් හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා පරිපාලනය පැත්තෙන්ද දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට ආධාරයක් වන විදිහටත් ගුරුවරුන්ගේ වැඩ පහසු වන විදිහටත් ඩිජිටල්කරණය සඳහා අවුරුදු පහක සැලසුමකුත් ක්‍රියාත්මක වීමට නියමිතයි."