පළමු විස්සයි20 තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 51ක් රැස් කරමින් අර්ධ ශතකයක් වාර්තා කළ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 23කදී ලකුණු 36ක් සහ දසුන් ශානක ලකුණු 22ක් ලබා ගත්තේය.
ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
කොදෙව් ඉනිමේ නායක ෂායි හෝප් පන්දු 54කදී ලකුණු 64ක් රැස් කළ අතර, බ්‍රැන්ඩන් කිං පන්දු 22කදී ලකුණු 37ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේසන් හෝල්ඩර් සහ ෂමාර් ජෝසප් කඩුලු 3 බැගින් දවා ගත් අතර, රොස්ටන් චේස් එක් කඩුල්ලක් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2ක් සහ එෂාන් මාලිංග එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතය.