නීතිඥවරියගේ නිවසේ සේප්පුවම උස්සලා - කෝටි 2කට ආසන්න රන් සමඟ ‘වැල්ලවත්තේ උබයා’ සහ දෙදෙනෙක් මාට්ටු

Report

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ නිවසකට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් තිබූ සේප්පුවක් සොරාගත් බව කියන සැකකරුවෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන ‘වැල්ලවත්තේ උබයා’ නමැත්තා බවත්, අපරාධ රැසක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ පෙර ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙකු බවත් පොලිසිය සඳහන් කළේය.

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පදිංචි නීතිඥවරියක් විසින් ඉකුත් 24 වැනිදා වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, කිසියම් පුද්ගලයෙකු නිවසට හොර රහසේ ඇතුළු වී අල්මාරියක් තුළ තිබූ සේප්පුවක්, එහි තිබූ පවුම් 39½ක පමණ රන් භාණ්ඩ ද සමඟ සොරාගෙන ගොස් ඇති බවටය.

එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවට පැමිණිල්ලේ සඳහන් කර තිබේ. ඒ අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ සැකකටයුතු බහාලුමක් - විමර්ශන වහාම ඇරඹේ

කොළඹ වරායේ සැකකටයුතු බහාලුමක් - විමර්ශන වහාම ඇරඹේ

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ‘වැල්ලවත්තේ උබයා’ නමැති සැකකරු අදාළ නිවසේ උඩුමහලේ වහල කඩා නිවසට ඇතුළු වී සේප්පුව සොරාගෙන ඇති බවයි. අවට නිවාසවල සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු ඇඳ ඇතිරිල්ලකින් සේප්පුව ආවරණය කර කර මත තබාගෙන රැගෙන යන දර්ශන ද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

ඒ අනුව වැල්ලවත්ත, කල්‍යාණි පාරේ නිවසක සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ සොරාගත් රන් භාණ්ඩවලින් පවුම් 30ක පමණ ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ. සේප්පුව සොරාගැනීමෙන් අනතුරුව, සැකකරු කලකට ඉහතදී පදිංචිව සිටි බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙකු වන මිතුරෙකුගේ නිවසකට එය රැගෙන ගොස් කපා, එහි තිබූ රන් ආභරණ පිටතට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

පසුව එම රන් ආභරණවලින් කොටසක් බොරලැස්ගමුව ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලකට උකස් කර හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදීගෙන මිතුරා සමඟ එය භාවිත කර ඇති බවත්, තවත් කොටසක් බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

ඊට අමතරව, සොරාගත් රන් භාණ්ඩවලින් ලද මුදලින් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ඇති සැකකරු, රුපියල් 145,000ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කර ඇති බව ද ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සම්බන්ධයෙන් ද වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක තොගයක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක තොගයක්