දේශබන්දුත් ගෑවුණු වෙඩි තැබීමේ සිද්ධියේ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කරයි
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් හට එරෙහිව මාතර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී ඇති බැවින්, මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අදාළ නඩුව අවසන් කිරීමට මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා තීරණය කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට එරෙහිව පවරා තිබූ B6314/25 දැරූ නඩුව අද (09) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය නිවේදනය කළේය.
මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක, මහේෂ් ප්‍රමුදිත, ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ, රංගජීවන් විදානපතිරණ සහ තාරක නානායක්කාර යන නීතිඥ මණ්ඩලය සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.
මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ඉකුත් 07 වනදා මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා ඉදිරියේ විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමට පියවර ගන්නා ලදී.
එදින විත්තිකරුවන් නවදෙනාම ඇප මත මුදාහැරීමට මහාධිකරණය නියෝග කළ අතර, එහිදී එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප හතරක් නියම විය.
ශරීර ඇපකරුවන් දෙදෙනෙකු විත්තිකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවටද කොන්දේසි පැනවිණි. මුදල් ඇප ගෙවීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය ඒ සඳහා පසුව වෙනත් දිනයක් ලබාදී තිබේ.