ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව මුළු ලංකාවටම වලංගු නිවේදනයක්
මැයි මාසය හෝ ජුනි මාසය වනවිට ශ්‍රී ලංකාවට සුපුරුදු වර්ෂාපතනය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, නිරිතදිග මෝසම් තත්ත්වය යටතේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් තිබිය හැකි වුවද, මැයි සහ ජුනි මාස වන විට තත්ත්වය යහපත් වනු ඇති බවට විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත්, අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බැවින් පවතින අධික උණුසුම් සහ වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර, පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් සීඝ්රයෙන් පහළ බැසීම නිසා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව හෝමාගම සහ ඒ අවට කලාප අංක 01 සඳහා අද (06) රාත්‍රී 08 සිට හෙට (07) උදෑසන 08 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.
පාදුක්ක සහ අවට ප්‍රදේශවලට ක්‍රියාත්මක වූ ජල කප්පාදුව අද උදෑසන 08:00ට අවසන් වූ බව ද එම මණ්ඩලය නිවේදනය කළේය.
මීට අමතරව, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින දැඩි ජල හිඟය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහනගර සභාව වෙත නව ජල බවුසර් රථයක් පරිත්‍යාග කර තිබේ.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ අද දහවල් 12:13ට බේරුවල, රක්වාන, ගොඩකවෙල සහ තණමල්විල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.