පට්ට පල් අසත්‍ය ප්‍රචාරය කරන්න එපා - කිසිදු අධිකරණයකින් බලශක්ති ඇමති වරදකරු කර නැති බවට වටගල කෑගහයි
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයා කිසිදු අධිකරණයකින් වරදකරුවෙකු වී නොමැති බවයි.
එසේම එසේ වරදකරුවෙකු වී තිබෙනවා නම් නඩු අංකය ඉදිරිපත් කරන ලෙසට තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඔහු අද(20) දින පාර්ලිමේන්තුවේදී පැවසුවා.
මෙම ගල් අඟුරු ටෙන්ඩරයේදී යම්කිසි තාක්ෂණික ගැටලුවක් ඇතිවී තිබෙනවා නම් එය නිවැරදි කරන්න කටයුතු කර ඇති බවත් මෙහිදී වන්දියක් අඳාළ සමාගමෙන් අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ලංකාවම හිරිවැටෙන රුපියල් කෝටි දසදහසක පාඩුවක් ගැන චානක කට අරී - ඒක පියවන්නේ ලයිට් බිල 10%න් වැඩි කරලා
එහිදී ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, "දැන් ඉස්සර වගේ නෙවෙයි. නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වනවා. ඉස්සර තමයි අල්ලස් කොමිසම, CID එක ඒ අඳාළ පුද්ගලයින් ළඟට පැමිණියේ. දැන් අඳාළ පුද්ගලයින් අල්ලස් කොමිසමට යනවා. CID එකට යනවා. ශිරන්තී රාජපක්ෂ මහත්මිය පසුගියදා FCID එකට පැමිණියා. රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද CID පැමිණීමට නියමිතව තිබුණා. එහෙම තමයි නීතිය කාටත් පොදුයි. අපේ කෙනෙකුටත් නීතිය එකයි, වෙනත් කෙනෙකුටත් නීතිය එකයි. ඒක නිසා සැමටම පොදු නීතියක් දැන් රටේ ක්‍රියාත්මකයි." යනුවෙන්.
එම අවස්ථාවේදී නැගී සිටි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ කම්කරු විනිශ්චය සභාවකින් බලශක්ති අමාත්‍යවරයා මීට පෙර ක්‍රියා කරන ලද ධූරයෙන් ඉවත් කර තිබෙන බවයි.
එමෙන්ම එය අල්ලස් කොමිසමටද දැනුම් දී ඇති බවත් අවශ්‍ය නම් එහි අංකය ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් ඔහු ප්‍රකාශ කළා.
ඊට ප්‍රතිචාර ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා, අධිකරණ තීන්දුවකින් බලශක්ති අමාත්‍යවරයා වරදකරුවකු වී නොමැති බව සඳහන් කළා.
එබැවින් ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේ පට්ට පල් අසත්‍ය ප්‍රචාරය නොකර සිටින ලෙසයි.