කඩුලු 7ක් ගත් වනිඳු යළිත් ලෝකය හොල්ලයි- තීක්ෂණ සහ චමීරත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවති විස්සයි20 තරගාවලියේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විස්සයි20 පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට එක්ව තිබේ.
ICC නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති හසරංග ශ්‍රේණිගත ලකුණු 668ක් සමඟ 8 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවති තරගාවලියේදී තරග 3කට ක්‍රීඩා කළ හසරංග ලකුණු 87කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.
මේ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ 11 වැනි ස්ථානයට පත්ව ඇති අතර, දුනිත් වෙල්ලාලගේ ස්ථාන 11කින් ඉදිරියට පැමිණ 17 වැනි ස්ථානයට පත්වීම කැපී පෙනේ.
එය ඔහුගේ හොඳම විස්සයි20 ශ්‍රේණිගත කිරීම වන අතර, ඔහු ශ්‍රේණිගත ලකුණු 640ක්ලබා සිටී.
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ස්ථාන 10කින් ඉදිරියට පැමිණ 46 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශමර් ජෝසප්, තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණු අතර, ඔහු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 42කින් ඉදිරියට පැමිණ 27 වැනි ස්ථානයට පත්ව තිබේ.
ජේසන් හෝල්ඩර් ද ස්ථාන 11කින් ඉදිරියට පැමිණ 28 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
විස්සයි20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංක 5 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, කමිල් මිෂාර ස්ථාන 24කින් ඉදිරියට පැමිණ 18 වැනි ස්ථානයට පත්ව තිබේ. ඔහු ශ්‍රේණිගත ලකුණු 657ක් ලබා ගනිමින් සිය හොඳම ICC ශ්‍රේණිගත කිරීමද වාර්තා කර ඇත.