විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාම යෝජනාවක්
නව විදුලි බල පනතේ ප්‍රතිපාදනවලට අනුව, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ, එම සමාගම්වලට අනුයුක්ත වීමට අකමැති සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් "2025 ශ්‍රී ලංකා විදුලි බල ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයේ නියම සහ කොන්දේසි" යනුවෙන් ගැසට් නිවේදනයක් මගින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
යෝජනා ක්‍රමය
ප්‍රතිව්‍යුහගතකරණය: ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් හතරකට බෙදා වෙන් කර ඇති අතර, සියලු සේවකයින්ට එම සමාගම්වලට අනුයුක්ත වීම සඳහා ලිපි නිකුත් කර ඇත
ස්වේච්ඡා විශ්‍රාමය: අනුප්‍රාප්තික සමාගමකට අනුයුක්ත වීමට එකඟ නොවන සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ අවස්ථාව හිමිවේ. මෙම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම යාමට තෝරා ගන්නා සේවකයින්ට වන්දි මුදල් හිමිවනු ඇත.
අයදුම් කිරීම: ස්වේච්ඡා විශ්‍රාමය සඳහා අයදුම්කරුවන් මාස දෙකක කාලයක් ඇතුළත ඒ සඳහා නිකුත් කර ඇති ආකෘති පත්‍රය පුරවා බලශක්ති අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ප්‍රධානය කිරීමේ ක්‍රම පිළිබදව ද බලශක්ති අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
ඒ අනුව වසර 10ක් හෝ වසර 10කට වඩා වැඩි සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව තිබු ඉතිරි කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහාමරක වැටුප හිමිවන බව වැඩිදුර සඳහන් ය.
වසර 10කට අඩු සේවාකාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සදහාම මාස 05ක වැටුප සහ සේවය කළ හැකිව තිබු ඉතිරි කාලය සඳහා ගෙවීමක් සිදුනොකරන බව ද බලශක්ති අමාත්‍යංශය දැනුම් දී ඇත.
මෙම නියෝගයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයෙකු සදහා වන වන්දි මුදල රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් මිලියන 5ක උපරිම සීමාවකට යටත්ව ගෙවීම සිදුවිය යුතු බව සඳහන්ය.
නමුත්, අදාළ විශ්‍රාම යාම සම්බන්ධයෙන් අවසන් නිර්දේශ මෙතෙක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.
