කොටුව අධිකරණය ආසන්නයේ රැස්වීම් සංවිධානය කළ විපක්ෂ දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් බුද්ධි අංශ හඳුනාගනී
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට බලපෑම් එල්ල කිරීමේ චෝදනාව මත විපක්ෂයේ දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මෙම දේශපාලනඥයන් අතර හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ දේශපාලනඥයන් ද ඇතුළත් බව බුද්ධි අංශ සඳහන් කරයි.
ඉකුත් 26 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ කටයුතුවලට බලපෑම් එල්ල කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇත.
බුද්ධි අංශ විසින් මෙම රැස්වීම් සඳහා කොළඹ හා ඒ ආසන්න ප්‍රදේශවලින් බස් රථ යොදා ගනිමින් පුද්ගලයන් රැගෙන ආ බවත්, එම කටයුතු සඳහා මුදල් වියදම් කළ පුද්ගලයන් හඳුනාගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බවත් පවසයි. මෙම රැස්වීම්වලට සහභාගි වූවන්ට කිරි පැකට්, වතුර බෝතල්, සහ ආහාර වර්ග පවා විපක්ෂ දේශපාලනඥයන් විසින් බෙදා දී ඇති බව වාර්තා වේ.
බුද්ධි අංශ විසින් මෙම සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ නිරීක්ෂණවලින් ලබාගත් වීඩියෝ සහ ඡායාරූප දර්ශන ඇතුළත් වාර්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කිරීමට කටයුතු කරමින් සිටී. මෙම රැස්වීම් සංවිධානය කිරීමට පෙර පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්රකාශනය කළ පුද්ගලයන් හඳුනාගැනීමේ කටයුතු ද CID විසින් 27 වැනිදා ආරම්භ කර ඇත. එමෙන්ම, සංස්කරණය නොකළ මාධ්‍ය දර්ශන ලබාගැනීමට ද CID කටයුතු කරමින් පවතී.

අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී
කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට දුන් නියෝගයට අනුව, CID විසින් 27 වැනිදා විමර්ශන ආරම්භ කර ඇත. CID හි අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශන සිදුකරමින් සිටී. බුද්ධි වාර්තා සහ විමර්ශන තොරතුරු ඔස්සේ, අධිකරණය ආසන්නයේ පිරිස් රැස්කළ පුද්ගලයන් හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව CID හි උසස් නිලධාරියෙක් පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ, අධිකරණ ශාලාව තුළ රැඳී සිටිමින් සිදුවීම් වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයන් සොයා CID හි වෙනම කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇත.