බංග්ලාදේශය ආයෙත් ගිනිගනී - ගෙවල්වල කට්ටිය ඉද්දිම අගුළු දාලා ගිනි තියයි
බංග්ලාදේශයේ පවතින දේශපාලන නොසන්සුන්තාවය හමුවේ දරුණු ප්‍රහාර මාලාවක් වාර්තා වී ඇත.
ඒ එරට සුළුතර හින්දු ජනතාව ඉලක්ක කරගනිමින් බව සඳහන්.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිරෝජ්පූර් දිස්ත්‍රික්කයේ ඉකුත් 27 වැනිදා ඩොම්රිටෝලා ගම්මානයේ පදිංචි සහා පවුලේ නිවසට නාඳුනන පිරිසක් ගිනි තබා තිබෙන බවයි.
එම අවස්ථාවේදී එම නිවසේ කාමර 5 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ප්‍රහාරකයන් කාමර තුළට රෙදි පුරවා ගිනි තබා ඇති බවත් සඳහන්. මේ අතර රාඕජාන් ප්‍රදේශයේ දින 5 ක් ඇතුළත හින්දු පවුල් 7කට අයත් නිවාස ඉලක්ක කර ගිනි තැබීම් සිදු කර ඇත.
එමෙන්ම චැටොග්‍රෑම් ප්‍රදේශයේ නිවසක දොරවල් පිටතින් අගුළු දමා ගිනි තබා තිබූ අතර, එහි සිටි පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු තහඩු සහ උණ බම්බු වැටවල් කපාගෙන දිවි බේරාගෙන තිබූ බව වාර්තා වේ.
එහෙත් ඔවුන්ගේ සියලු දේපළ විනාශ වී ඇති අතර සුරතල් සතුන් ද මියගොස් ඇත. මේ අතර චැටොග්‍රෑම් ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පිරිස සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.
ඉන්දියාවේ දැඩි විවේචකයෙකු වූ ශිෂ්‍ය නායක ෂරීෆ් ඔස්මාන් හාදිගේ මරණයත් සමඟ මෙම නොසන්සුන්තාවය ආරම්භ වී ඇත. ඔස්මාන් හාදි වෙඩි ප්‍රහාරයකට ලක්ව සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.
අනතුරුව ඔහුගේ ආධාරකරුවන් වීදි බැස ප්‍රචණ්ඩ ආකාරයට හැසිරී තිබෙනවා.
එසේම ඔවුන් විසින් 'The Daily Star' වැනි ප්‍රධාන මාධ්‍ය ආයතනවලට ද ප්‍රහාර එල්ල කර ඇත. මයිමන්සිං හිදී දීපු චන්ද්‍ර දාස් නමැති තරුණ හින්දු කම්කරුවෙකුට දේව අපහාස චෝදනා එල්ල කරමින් පිරිසක් විසින් පහර දී ගිනි තබා ඝාතනය කළ බවත් වාර්තා වේ.
තවද හින්දු ජනතාව ඉස්ලාම් දහමට එරෙහිව කටයුතු කරන බව කියමින් ඔවුන්ගේ දේපළ විනාශ කරන බවට ලියූ තර්ජනාත්මක පණිවුඩ ද ප්‍රහාරකයින් විසින් තබා ගොස් ඇත.