ජොනීගේ එතනෝල් ජාවාරමට පැටළුනු විජයකලාත් අත්අඩංගුවට?
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති එතනෝල් ජාවාරම සම්බන්ධයෙන් නවතම තොරතුරු වාර්තා වෙමින් තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම සිදුවීම රුපියල් ලක්ෂ 2.5ක සුළු ප්‍රශ්නයක් ලෙස හුවා දක්වා ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නමද මෙම ජාවාරමට සම්බන්ධ බවට වාර්තා වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂාකීර් යන අයට රාජ්‍ය දේපල අවභාවිතා කිරීම, දැනුවත්ව සත්‍ය තොරතුරු සඟවා රාජ්‍ය නිලධාරීන් නොමග යැවීම, එතනෝල් බලපත්‍රයක් ලබාගැනීම, රජයට බදු මුදල් වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනාවන් බරපතළ වන අතර, රජයට සිදුව ඇති මූල්‍යමය හානිය රුපියල් කෝටි ගණනකින් යුක්ත බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම විමර්ශනය ආරම්භ වූයේ 2015 නොවැම්බර් මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු නිර්නාමික පැමිණිල්ලක් මතය. කොළඹ අමරසේකර මාවතේ ලිපිනයක පවත්වාගෙන ගිය සමාගමක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී ඇති අතර, එම ගොඩනැගිල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මියට අයත් බව හෙළි වී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ එම ගොඩනැගිල්ල ජොහාන් ප්‍රනාන්දුට මාසික කුලී පදනම මත ලබාදුන් බවත්, ඊට අදාළ වෙනත් කිසිදු කටයුත්තක් ගැන තමන් නොදන්නා බවත්ය.
මෙම ලිපිනය යටතේ ලියාපදිංචි ව්‍යාපාර කිහිපයක් තිබූ අතර, එකක් සුවඳ විහිදුම් ද්‍රව්‍ය සහ පිරිසිදුකාරක නිෂ්පාදනය සඳහා සුරාබදු බලපත්‍රයක් ලබාගෙන තිබිණි. එම බලපත්‍රය යටතේ එතනෝල් ලීටර් 60,000ක් ආනයනය කර ඇති අතර, තවත් ලීටර් 40,000ක් දේශීය වෙළඳපොළෙන් මිලදී ගෙන තිබේ. නමුත් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම සමාගම කිසිදු නිෂ්පාදනයක් සිදුකර නොමැති බවය.
එසේම, සතොසට අයත් ලොරි රථයක් යොදාගෙන එතනෝල් ලීටර් 40,000ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇති බවත්, රුපියල් කෝටි 4ක මුදලක් විදේශයකින් මෙම සමාගමේ ගිණුමට ලැබී ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මෙම මුදල් නිෂ්පාදන අපනයනයෙන් ලැබුණු බව ප්‍රකාශ කළද, කිසිදු අපනයනයක් සිදුවී නොමැති බව හෙළි වී ඇත.
2025 දෙසැම්බර් 30 වැනිදා ජොහාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂාකීර් අත්අඩංගුවට ගෙන තිබේ. වට්ටල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් 2026 ජනවාරි 09 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 30 වැනිදා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වූ ජොහාන් ප්‍රනාන්දු ද මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව ජොහාන් ප්‍රනාන්දු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. සතොස ආයතනයේ ලොරියක් ස්කාගාරයක ප්‍රවාහන කටයුතුවලට යෙදවීමෙන් සිදුවූ අලාභය සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ සතොස ආයතනයේ ප්‍රවාහන අංශය භාරව සිටි ඉන්දික රත්නමලල මහතා ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.