නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පත් කර තිබේ.
ඒ අනුව මෙතෙක් නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කීර්තිමත් සේවාවක නිරතව සිටි රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාව වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස මෙලෙස පත් කර ඇත.
මෙම උසස්වීම් සහ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද 30 වනදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
මෙම සුවිශේෂී පත්වීම එළඹෙන ජූලි මස 1 වනදා සිට නිල වශයෙන් බලපැවැත්වෙන අතර වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා එදින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයෙන් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඩේමියන් ප්‍රනාන්දු මහතා ඉකුත් 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස සිය හමුදා සේවයට එක්විය.
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික හමුදා පුහුණුවීම් සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස නිල වශයෙන් අධිකාරියට පත්ව තිබේ.
වසර 35 කට ආසන්න දීර්ඝ නාවික සේවා දිවිය තුළ දේශීය මෙන්ම විදේශීය වෘත්තීය සහ විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් ඉතාමත් සාර්ථකව හදාරා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා මෙරට ස්වෛරීභාවය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයමින් රණශූර සහ උත්තම සේවා පදක්කම් ඇතුළු ඉහළම ගෞරව සම්මාන රැසක් ද හිමිකරගෙන ඇත.
සේවකයන්ට මගෙන් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න - මිස්ටර් කොත්තු සියල්ල පාපොච්චාරණය කරමින් ලංකාවෙන්ම සමාව ඉල්ලයි
ඔහු සතු විශිෂ්ට වෘත්තීය දක්ෂතාව කාර්යක්ෂමතාව සහ කැපීපෙනෙන ජාතික සේවය මැනවින් අගයමින් අවස්ථා 6 කදී ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් විසින් විශේෂ ප්‍රශංසාත්මක ලිපි මඟින් ද ඔහුව ඇගයීමට ලක් කර තිබීම සුවිශේෂී වේ.
වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සන්නද්ධ හමුදා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද ඉහළ සුදුසුකම් ලබා ඇති අතර ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කිංග්ස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පශ්චාත් ශාස්ත්‍රපති උපාධියක් ද ලබා සිටින ඉතාමත් පරිණත හමුදා නිලධාරියෙකි.