අවදානම් තත්ත්වයක් - පාසල් වැසේ ගුවන් ගමන් නවතියි
මේ වනවිටඅමෙරිකා එක්සත් ජනපදය පවතින හිම සහ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ආපදාකාරී තත්ත්වයකට එරට වැසියන් මුහුණ දී ඇත.
මේ වන විට එරට ගුවන් ගමන් විශාල ප්‍රමාණයකින් අවලංගු වී තිබෙන අතර, පාසල් වසා දැමීම් සහ විදුලි ඇනහිටීම් දහස් ගණනින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එක්සත් ජනපද බලධාරීන්ගේ අනාවැකි අනුව, මෙම සුළි කුණාටුවෙන් මිලියන 200කට අධික ජනතාවට බලපෑම් ඇති විය හැකි බව සඳහන් වේ.
කුණාටුව බොහෝ ප්‍රදේශ හරහා ගමන් කරන අතර, නැගෙනහිර ප්‍රදේශ කරා ගමන් කිරීමේදී එය ප්‍රබල ලෙස බලපෑම් ඇති කළ හැකි බව කාලගුණ සේවය අනාවැකිය ඉදිරිපත් කරයි.
පවතින තත්ත්වය මත, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්ම ප්‍රාන්ත 10කට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. නමුත් කුණාටුව තවත් ප්‍රබල වීම හේතුවෙන් එම ප්‍රාන්ත සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා හදිසි තත්ත්වය සහ මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇත.
මෙම ශීත කුණාටුව සැතපුම් 2,300ක් පුරා විහිදී නැගෙනහිර වෙත ළඟා වෙමින් පවතී. පසුගිය පැය 12 තුළ ප්‍රාන්ත 6කට අධික ප්‍රදේශවලට හිම කැටි සහ වැසි වැටී තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ ගුවන් ගමන් 15,000කට අධික ප්‍රමාණයක් අවලංගු වී ඇති අතර තවත් 8,700කට අධික ගමන් ප්‍රමාද වී ඇත. එමෙන්ම විදුලි ඇනහිටීම් 50,000කට අධික ප්‍රමාණයක් වාර්තා වේ.