අමෙරිකාවටත් ඇති වෙයි - යළි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ නොහැකි බවට ලිපියකින්ම දන්වයි
අමෙරිකානු රජය මඟින් 2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම, අමෙරිකානු රජය මඟින් ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්රස්තවාදයට එරෙහි කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් විසින් දැනුම් දී ඇත.
එහිදී අමෙරිකානු රජය පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු වෙනුවෙන් අමෙරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
තවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ලිපියෙන්, ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලබාදුන් පරීක්ෂණ සහයෝගීතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් ද කර ඇත.
අඳාළ ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම මෙන්ම ඩිජිටල් උපාංග විශ්ලේෂණය කිරීමේ කටයුතුවල නිරත වී ඇති බව සඳහන්.
එමෙන්ම ප්‍රහාරයෙන් පසු මාස කිහිපය තුළ අමෙරිකානු තානාපතිවරයා සහ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ නීති අනුබද්ධ නිලධාරියා විසින් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරයෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර තිබෙන බවත් සඳහන්.
එම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රහාරයෙන් අමෙරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මඟින් අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා.
එසේම ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අමතරව, ත්රස්තවාදයට විරුද්ධව නඩු පවරන ශ්‍රී ලංකාවේ රජයේ නීතිඥවරුන් වෙනුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ත්රස්තවාදයට එරෙහි කාර්යාංශය මඟින් අඛණ්ඩව පුහුණුව සහ උපදේශනය ලබා දී ඇත.
තවද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ නීති බලාත්මක කිරීමේ කාර්යාංශය ඔස්සේද වසර කිහිපයක් තිස්සේ අධිකරණ සහ අභිචෝදනා සහය ලබා දී ඇති බව දන්වයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දක්වා ඇත්තේ ත්රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් වෙනුවෙන් වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී තිබෙන බවයි.
ඊට අමතරව අඳාළ ලිපියෙන් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් සලකා බැලීමට සූදානම් බවත් සඳහන් අතර පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ ත්රස්තවාදයට එරෙහි සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමෙරිකාව තවදුරටත් කැපවන බව ද අවධාරණය කර ඇත.
සාරංගානියේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පාසල් කඩා වැටෙයි - ලෝකෙම සලිත කරමින් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය කළඹයි