“කැනඩා මත්පැන්වලටත් ඇමෙරිකාවෙන් රතු එළියක් ” - ඩොලර් බිලියනයකට ආසන්න භණ්ඩ ආනයන තහනමක්
කැනඩාවෙන් ඇමෙරිකාවට ආනයනය කරන ඩොලර් මිලියන 967ක් පමණ වටිනා භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම අඟහරුවාදා සිට ක්‍රියාත්මක වී තිබේ.
මත්පැන්, කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ යතුරුපැදි ඇතුළු කැනේඩියානු භාණ්ඩ රැසක් මෙම තහනමට ඇතුළත් වේ. කෙසේ වෙතත්, ඇමෙරිකාව සහ කැනඩාව අතර වාර්ෂිකව සිදුවන ඩොලර් බිලියන 880ක පමණ වෙළෙඳාම සැලකිල්ලට ගැනීමේදී, මෙම තහනමෙන් සමස්ත ද්විපාර්ශ්වික වෙළෙඳාමට සිදුවන බලපෑම සීමිත විය හැකි බව වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ Action Forum ආයතනයේ වෙළෙඳ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජේකබ් ජෙන්සන් 2025 වසරේ දත්ත පදනම් කරගනිමින් සිදුකළ ගණනයකට අනුව, මෙම තහනමට ඩොලර් මිලියන 967ක් පමණ වටිනා කැනේඩියානු ආනයන ඇතුළත් වේ. එම සමස්ත වටිනාකමින් 87%ක් පමණ මත්පැන් වන බව සඳහන් වේ.
කැනඩාවේ ඇතැම් ප්‍රාන්ත ඇමෙරිකානු මත්පැන් වර්ජනය කිරීමට ගත් පියවරට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකාව මෙම ආනයන තහනම පනවා ඇති බව වාර්තා වේ.
දෙරට අතර වෙළෙඳ ගැටුම පසුගිය අගෝස්තු මාසයේදී තවදුරටත් උත්සන්න වූයේ ඇමෙරිකාව කැනේඩියානු භාණ්ඩ ඩොලර් බිලියන 20ක් සඳහා 50%ක බදු පැනවීමත් සමඟය.
වෙළෙඳ නීතිඥයෙකු සහ හිටපු ඇමෙරිකානු වෙළෙඳ නිලධාරියෙකු වන පැට්‍රික් චයිල්ඩ්‍රස් පවසා ඇත්තේ මෙම ආනයන තහනම ඇමෙරිකාව සහ කැනඩාව අතර පවතින වෙළෙඳ ආතතිය සමනය කිරීමට කිසිදු ආකාරයකින් උපකාරී නොවන බවයි.
මේ අතර, වෙළෙඳ ගැටුම සමථයකට පත් කිරීම සඳහා ඇමෙරිකාව සිය පාර්ශ්වයෙන් පියවර ගැනීමට සූදානම් බවක් මෙතෙක් පෙන්වා නොමැති බවද වාර්තා වේ.
ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාවද ඇමෙරිකානු භාණ්ඩ 700කට වැඩි ප්‍රමාණයක් සඳහා 15% සිට 50% දක්වා ප්‍රතිප්‍රහාරක බදු පනවා තිබේ. එමෙන්ම, තෝරාගත් වානේ සහ ඇලුමිනියම් භාණ්ඩ සඳහාද කැනඩාව 25%ක බද්දක් පනවා ඇති බව සඳහන් වේ.