ලෝක ජනතාවටම බිය ගෙනෙන පුවතක් - ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ඕසෝන් දූෂණයට නිරාවරණය වෙයි

Report

2026 වසරේ මුල් මාස අට තුළ ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට අධික පිරිසක් ඉතා ඉහළ මට්ටමේ ඕසෝන් දූෂණයට නිරාවරණය වී ඇති බව යුරෝපා සංගමයේ කොපර්නිකස් වායුගෝලීය නිරීක්ෂණ සේවය (CAMS) නිකුත් කළ නව වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ජනවාරි 1 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය ආවරණය කරමින් සිදුකළ විශ්ලේෂණයට අනුව, ලෝක ජනගහනයෙන් 34%ක් “අතිශය දුර්වල” වායු ගුණාත්මක තත්ත්වයකට නිරාවරණය වී ඇත.

එම කාණ්ඩයට ඇතුළත් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශිත සීමාවට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ඕසෝන් සාන්ද්‍රණයක් සහිත වාතයයි.

වායුගෝලයේ ඇති වාහන, කර්මාන්ත හා ලැව්ගිනිවලින් නිකුත් වන දූෂක ද්‍රව්‍ය තාපය හා සූර්යාලෝකය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් පෘථිවි මට්ටමේ ඕසෝන් දූෂණය ඇති වේ.

එය පෙනහළු පටකවලට හානි කිරීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇති කිරීම සහ ඇදුම රෝගීන්ගේ ප්‍රහාර උත්සන්න කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට හේතු විය හැකිය. මෙම වසරේ වාර්තා වූ උෂ්ණත්ව තරංග සහ ලැව්ගිනි ඕසෝන් දූෂණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

යුරෝපය සහ උතුරු ඇමෙරිකාව පුරා ඇති වූ දැඩි උෂ්ණත්ව තත්ත්ව සහ ලැව්ගිනිවලින් නිකුත් වූ දුමාරය දේශසීමා ඉක්මවා දුර ප්‍රදේශ වෙතද පැතිර ගොස් තිබේ.

CAMS අධ්‍යක්ෂ ලෝරන්ස් රූල් පෙන්වා දී ඇත්තේ වායු දූෂණය දේශසීමාවලින් නතර නොවන අතර එය මහාද්වීප සහ සාගර හරහා කිලෝමීටර් දහස් ගණනක් ගමන් කළ හැකි බවයි.

කාන්තාවන්ගෙන් සැදුම්ලත් බළෝච් සන්නද්ධ ඒකකයේ පළමු ප්‍රහාරය - පාකිස්තාන සෙබළුන්ට දැඩි ප්‍රහාරයක්

කාන්තාවන්ගෙන් සැදුම්ලත් බළෝච් සන්නද්ධ ඒකකයේ පළමු ප්‍රහාරය - පාකිස්තාන සෙබළුන්ට දැඩි ප්‍රහාරයක්

ආසියාවට වැඩිම බලපෑම

ඕසෝන් දූෂණයට වැඩිම නිරාවරණයක් වාර්තා වී ඇත්තේ ආසියාවෙනි.එහි ජනගහනයෙන් 53%ක් අතිශය දුර්වල වායු ගුණාත්මක තත්ත්වයකට නිරාවරණය වී ඇති අතර තවත් 22%ක් “ඉතා දුර්වල” ඕසෝන් තත්ත්වයකට මුහුණ දී තිබේ.

කර්මාන්තකරණය, ආර්ථික සංවර්ධනය, ප්‍රවාහන කටයුතු මෙන්ම ලැව්ගිනි සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය දහනය කිරීම ආසියාවේ වායු දූෂණයට ප්‍රධාන වශයෙන් දායක වන බව වාර්තාව සඳහන් කරයි. නවදිල්ලිය, ඩකා, චීනයේ චොංචිං සහ පාකිස්තානයේ ලාහෝර් යන නගරවලද “අතිශය දුර්වල” ඕසෝන් මට්ටම් වාර්තා වී තිබේ.

මේ අතර උතුරු ඇමෙරිකාවේ ජනගහනයෙන් තුනෙන් දෙකකට සහ යුරෝපයේ ජනගහනයෙන් 45%කට “දුර්වල” හෝ “ඉතා දුර්වල” වායු තත්ත්වයකට නිරාවරණය වීමට සිදුව තිබේ. යුරෝපයේ වසරකට සිදුවන අකාල මරණ 60,000කට පමණ ඕසෝන් දූෂණය සම්බන්ධ බව යුරෝපා පරිසර ඒජන්සියේ නිලධාරියෙකු සඳහන් කර තිබේ.

අප්‍රිකාවේ ලැව්ගිනි, වගා බිම් දහනය සහ ආහාර පිසීමෙන් නිකුත් වන දුමාරය වායු දූෂණයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර, සහරා කාන්තාරයේ දූවිලි යුරෝපය දක්වා ගමන් කරන බවද වාර්තාව පෙන්වා දෙයි.

ඕෂනියා කලාපය සාපේක්ෂව යහපත් තත්ත්වයක පවතින අතර, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු එම කලාපයේ ජනගහනයෙන් 66%කට යහපත් ඕසෝන් මට්ටම් පවතින බව වාර්තාව සඳහන් කරයි.

වසර 23ක හමුදා මෙහෙයුම් නිමා කරමින් අමෙරිකානු බලඇණි ඉරාකයෙන් ඉවත් වෙයි

වසර 23ක හමුදා මෙහෙයුම් නිමා කරමින් අමෙරිකානු බලඇණි ඉරාකයෙන් ඉවත් වෙයි