අගෝස්තු 20 පොලිස් නිෂ්කාශන සහතික ඉල්ලූ අයට හදිසි දැනුම්දීමක්
2026 අගෝස්තු 20 වැනිදා පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා මාර්ගගතව අයදුම් කළ අයදුම්කරුවන් නැවත අයදුම් කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
එදින නිෂ්කාශන දත්ත පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් පද්ධතියෙන් ඉවත් වී ඇති බැවින්, අදාළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නැවත ඉදිරිපත් කරන අයදුම්පත සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තා කැඳවීමෙන් අනතුරුව නිෂ්කාශන සහතිකය නිකුත් කිරීමට කටයුතු කළ හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම, පෙර අයදුම්පත සඳහා අයකර තිබූ රුපියල් 5,100ක ගාස්තුව අයදුම්කරු විසින් ගෙවීම් සිදුකළ කාඩ්පතට නැවත බැර කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
මේ අතර, පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතික මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතිය අගෝස්තු 20 වැනිදා දහවල් 12.50 සිට අක්‍රියව පැවති බව සඳහන් වේ.
ඒ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කිරීමෙන් අනතුරුව පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට පෙර පරිදි පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.