නව පනතක්.. රටේ දේශපාලනය, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු අංශවල පරිවර්තනයක්
රටේ දේශපාලනය, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු අංශවල පරිවර්තනයක් සිදුවිය යුතු බව අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිවිල් සංවිධාන ජාතික එකමුතුවේ නියෝජිතයන් අතර, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හා අධීක්ෂණය පිළිබඳ නව පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වුණ අවස්ථාවේදීයි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ වර්තමාන රජයට ජනවරමක් ලැබී ඇත්තේ රටේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට බවත්, පොදුවේ වෙනස් වීමට අකමැත්තක් අප සැවොම තුළ පවතින බවත් ය.
එසේම එහිදී නව පනත සම්බන්ධයෙන් එම නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, සිවිල් සංවිධාන ජාතික එකමුතුවේ නියෝජිතයන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙම පනත මඟින් සිවිල් සංවිධාන විසින් සිදුකරනු ලබන සමාජ සේවා කටයුතු සාර්ථකව කරගෙන යාමට බාධා ඇතිවිය හැකි බවයි.
එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන නියාමනයකට ලක් කිරීම පිළිබඳව විරුද්ධත්වයක් නොමැති බවත්, මෙම පනතෙන් සියලුම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමටත්, විශාල හා කුඩා සියලුම රාජ්‍ය නොවන සංවිධාන එක හා සමානව අධීක්ෂණයට ලක් කිරීමටත් උත්සාහ ගන්නා බව නිරීක්ෂණය වන බවත් ඔවුන් සඳහන් කළා.
මේ අතර අමාත්‍ය උපාලි පන්නිල මහතා කියා සිටියේ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස් සැලකිල්ලට ගැනීමට රජය සූදානම් බවත්, ඒ පිළිබඳව විවෘත සංවාදයක නිරත වීමට ද රජය සූදානම් බවත් ය.
තවද දැනට රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සිදු කරනු ලබන්නේ 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචිය සහ අධීක්ෂණය පිළිබඳ පනත මඟින් බවත්, අවුරුදු 46ක් පැරණි මෙම පනත වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය විය යුතු බවත් සඳහන් කළ අතර අනවශ්‍ය ලෙස සිවිල් සංවිධාන පාලනය කිරීමට හෝ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු පැවසුවා.
ඊට අමතරව මින් පෙරද මෙවැනිම රාජ්‍ය නොවන සංවිධාන සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්, ඉදිරියේදීද එවැනි සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවත් පැවසූ ඔහු රාජ්‍ය නොවන සංවිධාන සංවර්ධනයේ සහකරුවන් වශයෙන් සලකා, ඔවුන් සමඟ කටයුතු කිරීම රජයේ අරමුණ බවද ප්‍රකාශ කළා.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න විතානගේ මහතා කියා සිටියේ, නව පනත පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති වීම නිසා නොයෙක් දුර්මතයන් පැතිර ඇති බවත්, විවෘත සංවාදයක් තුළින් සුදුසු සංශෝධන සලකා බැලීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කටයුතු කරන බවත් ය.
එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලසඳමාලා මුහන්දිරම්ගේ මහත්මියද එක්ව සිටියා.