ශ්රී ලංකාවේ පෞද්ගලික බැංකු සඳහා - පුරවැසියන් වෙනුවෙන් නව තීන්දුවක් ප්රකාශයට
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්රයක් යටතේ ක්රියාත්මක වන පෞද්ගලික බැංකුවක්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ "පොදු අධිකාරියක්" (Public Authority) යන අර්ථ නිරූපණයට ඇතුළත් වන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) විසින් තීන්දු කර ඇත.
සණස සංවර්ධන බැංකුවේ (SDB Bank) ගනුදෙනුකරුවකු විසින් සිය ණය සඳහා අදාළ වූ පොලී අනුපාතිකය සමාලෝචනය කළ ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලා ගොනු කරන ලද අභියාචනයක් විභාග කරමින් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන තිබේ.
අදාළ තොරතුරු ඉල්ලීමට ප්රතිචාර වශයෙන් SDB බැංකුව 2025 අප්රේල් 9 වන දින විද්යුත් තැපෑල (Email) ඔස්සේ තොරතුරු ලබා දී තිබුණද, එම පිළිතුර පිළිබඳව සෑහීමකට පත් නොවූ ගනුදෙනුකරු තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
අභියාචන විභාගයේදී බැංකුව තර්ක කර සිටියේ තමන් අවස්ථා හතරකදී විද්යුත් තැපෑල හරහා තොරතුරු ලබා දී ඇති බවයි. එසේම, තමන් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගමක් බැවින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ "පොදු අධිකාරියක්" ලෙස නොසැලකෙන බවද බැංකුව සඳහන් කර ඇත.
2026 ඔක්තෝබර් 21 දින අභියාචනා තීන්දුව මගින් කොමිෂන් සභාව බැංකුවේ තර්කය ප්රතික්ෂේප කර ඇති අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිකුත් කළ බලපත්රයක් යටතේ ක්රියාත්මක වන පෞද්ගලික බැංකුවක් යනු පනතේ දැක්වෙන ව්යවස්ථාපිත අර්ථ නිරූපණයට අනුව "පොදු අධිකාරියක්" බව කොමිෂන් සභාව තීන්දු කර තිබේ.
තොරතුරු දැනගැනීමේ පනතේ 3(1) වගන්තියට අනුව 5 වන වගන්තියේ ප්රතිපාදනවලට යටත්ව, පොදු අධිකාරියක් සතුව පවතින තොරතුරු ලබාගැනීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති අතර, පනතේ 43 වන වගන්තිය මගින් "පොදු අධිකාරිය" යන්න අර්ථ නිරූපණය කර ඇති අතර, එහි (e) ඡේදය මගින් නියමිත කොන්දේසිවලට යටත්ව ඇතැම් පෞද්ගලික ආයතන ද ඊට ඇතුළත් කර ඇත. ඒ අනුව, කොමිෂන් සභාවේ මෙම තීන්දුව මගින් මහ බැංකු බලපත්ර ලාභී පෞද්ගලික බැංකුවලටද මෙම පනතේ බලපෑම සෘජුවම අදාළ වන බව පැහැදිලි කර තිබේ.