ලොකු ලොක්කෝ ඇතුළු ප්‍රසිද්ධ භික්ෂූන්ටත් පාතාලෙන් ජීවිත තර්ජන - සිය ගණනක් පණ බයේ ආරක්ෂාව ඉල්ලයි
පාතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති බවට නීතිඥවරුන්, බන්ධනාගාර හා පොලිස් නිලධාරින් ඇතුළු වෘත්තිකයන් සිය ගණනක් ගැන ආරක්ෂක තක්සේරු ලබා ගැනීමට පොලිස් මූලස්ථානය හා ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය මේ වන විටත් එවන් අවධානම් සහගතව ජීවත් වන වෘත්තිකයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ඔස්සේ තර්ජන පිළිබඳ තක්සේරු වාර්තා කැඳවා ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ඇතැම් නීතිඥයන්ටද ප්‍රතිවාදී පාතාල කල්ලි මඟින් ජීවිත තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඉකුත් දා බත්තරමුල්ල අකුරේගොඩ දී පාතාල ක්‍රියාකාරීන් විසින් වෙඩි තබා නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව නීතිඥ සංගමයේ සියලු සාමාජිකයන් කොළඹට රැස්වූ අවස්ථාවේදී ද මේ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිව ඇත.
එයට අමතරව පාතාල ක්‍රියාකාරීන්ගේ තර්ජනවලට වැඩියෙන්ම ලක්ව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් බවත් ඇතැම් නිලධාරීන් මේ නිසා ස්වකැමැත්තෙන්ම ස්ථාන මාරු ලබාගෙන ගොස් ඇති බවත් සඳහන්.
මේ අතර බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන්ට බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිතා කිරීමට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා කිරීමට ඉඩ නොදීම මත බන්ධනාගාර නිලධාරීන් බහුතරයක් තර්ජනවලට ලක්ව තිබෙන බව වාර්තා වේ.
කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේ ජීවිත තර්ජන ඇතැයි පවසමින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇති පාර්ශ්ව සම්බන්ධයෙන් මේ වනවිටත් ආරක්ෂාව පිළිබඳ තක්සේරු ලබාගැනීම සිදුවෙමින් ඇති බවයි.
එමෙන්ම ප්‍රධාන පෙළේ ඇතැම් භික්ෂුන් වහන්සේලාද මේ ආකාරයෙන් ජීවිත තර්ජන මත ආරක්ෂාව ඉල්ලා ඇති බවද සඳහන්. ඒ අනුව විධිමත් තක්සේරුවට අනුව සැබැවින්ම තර්ජන එල්ල වී ඇති පිරිස් වෙත ආරක්ෂාව ලබා දෙන බව සඳහන්.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්ගෙන් කළ විමසුමකදී පොලිස්පතිවරයා වෙත තමන්ට ජීවිත තර්ජන ඇතැයි පවසා පැමිණිලි කරන ඕනෑම අයකු සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ආරක්ෂක තක්සේරු ලබාගන්නා බව පැවසූ බව වාර්තා වේ.
එසේ ලබාගන්නා තක්සේරුව කමිටුවක් හමුවට ඉදිරිපත් කර සැබැවින්ම ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇත්නම් එම පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව පවසයි.