මැදපෙරදිග යුද්ධයෙන් මුළු ලෝකයටම මරු පහරක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෝලීය ආර්ථික පුරෝකථන බිමටම ඇද දමයි
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින යුධ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වූ පුරෝකථන තවදුරටත් පහත හෙළීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 2.5 කින් සහ 2027 වසරේදී සියයට 2.8 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙය පසුගිය ජනවාරි මාසයේදී පළ කළ සියයට 2.7 සහ 2.9 යන පුරෝකථනවලට වඩා පහළ අගයක් බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ මූල්‍ය වෙළෙඳපොළේ අස්ථාවරතාව මෙම පහත වැටීමට ප්‍රධාන හේතු බවයි.
එම දෙපාර්තමේන්තුවේ ආර්ථික විශ්ලේෂණ අධ්‍යක්ෂ ශාන්තානු මුකර්ජි මහතා සඳහන් කළේ, ඉරානයට එරෙහිව ආරම්භ වූ යුද්ධය මුලින් බලශක්ති වෙළෙඳපොළට බලපෑමක් ලෙස ආරම්භ වුවද, මේ වන විට එය ලොව පුරා සැපයුම් දාමයන්ට බලපාන පුළුල් ආර්ථික අර්බුදයක් බවට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම වසරේ දෙවන භාගයේදී තෙල් මිල යම් මට්ටමකින් පහළ යා හැකි බවත්, ඉන්ධන සංචිත භාවිතයෙන් බලපෑම යම් ප්‍රමාණයකට අවම කරගත හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.
නමුත් අහිතකර තත්ත්වයක් යටතේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.1 දක්වා පහත වැටිය හැකි බවත්, එය කොරෝනා වසංගතය සහ 2007-2009 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු වාර්තා වන දරුණුතම ආර්ථික මන්දගාමී වීමක් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක්වනු ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.
බටහිර ආසියාවේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 4.1 සිට සියයට 1.4 දක්වා දැඩි ලෙස පහත හෙළා ඇති අතර, 2026 වසරේදී දරුණුතම ආර්ථික මන්දගාමී වීමක් වාර්තා විය හැකි කලාපය ලෙසද එය හඳුනාගෙන ඇත.
මේ අතර, කැරිබියන් කලාපය, බටහිර සහ මධ්‍යම අප්‍රිකාව, ගිනිකොනදිග යුරෝපය සහ එක්සත් රාජධානිය සඳහාද වර්ධන පුරෝකථන පහත දමා තිබේ.
කෙසේ වෙතත්, ලොව විශාලතම ආර්ථිකයන් වන ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සඳහා වූ වර්ධන පුරෝකථන පිළිවෙළින් සියයට 2 සහ සියයට 4.6 ලෙස නොවෙනස්ව පවත්වා ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාව සහ ඉරානය සටන් විරාමයකට එකඟ වුවද, හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය තවදුරටත් දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ. නවතම දත්ත අනුව, යුද්ධයට පෙර දිනකට නෞකා 130කට අධික සංඛ්‍යාවක් ගමන් කළ මෙම ජල මාර්ගය හරහා මේ වන විට ගමන් කරන්නේ ඉතා සීමිත නෞකා ප්‍රමාණයක් පමණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මීට පෙර ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය පහත හෙළා තිබූ අතර, එවැනි තවත් ජාත්‍යන්තර ආයතනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැන් එක්වී ඇත.