කල්පිටියම හැඬවූ ඛේදවාචකය - දිවි නොතකා දරුවන් දෙදෙනා බේර ගැනීමට සටන් කළත් පුංචි මල් කැකුළු දෙකක් මෙලොව හැර යයි
කල්පිටිය කලපුවේ වල්ලමක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව අඹුසැමි යුවළක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ, 13 හැවිරිදි හා 7 හැවිරිදි දරුවන් දෙදෙනෙක් බව වාර්තා වේ.
කල්පිටිය කලපුවේ ගොඩෑපිටිය දූපත ආසන්නයෙන් මසුන් ඇල්ලීමට එලා තිබූ දැළක් රැගෙන ඒමට දරු දෙදෙනෙකු හා අඹුසැමි යුවළක් ඊයේ(11) දහවල් වල්ලමකින් ගොස් ඇත.
එහිදී ප්‍රදේශයේ තිබූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අදාළ වල්ලම පෙරළීගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී අඹුසැමි යුවළේ පිරිමි පුද්ගලයා එක් දරුවෙකු බේරාගෙන ඇති අතර අනෙක් දරුවා කාන්තාව විසින් අල්ලාගෙන ගොඩබිමට පිහිනීමට උත්සහා දරා ඇත.
ඒ අතරතුරදී ධීවර කටයුතු සඳහා පැමිණි බෝට්ටුවක පිරිසක් පෙරළී තිබූ වල්ලම දැක ඒ අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී අනතුරට පත් පිරිමි පුද්ගලයා හා දරුවෙකු දැක ඇති අතර ඔවුන් අසලට යෑමේදි දෙදෙනා දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරුව ඔවුන් දෙදෙනාව බෝට්ටුවේ සිටි පිරිස බේරාගෙන තිබෙනවා. පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී කාන්තාව සිය පපුව මත අනෙක් දරුවා තබාගෙන ගොඩබිමට පිහිනමින් සිටින අයුරු දැක ඔවුන්ව බෝට්ටුවට දමාගෙන ගොඩබිමට රැගෙන විත් ඇත.
එහෙත් රෝහල්ගත කිරීමේදී දරුවන් දෙදෙනා මියගොස් සිට ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව එසේ මියගොස් ඇත්තේ, 07 හැවිරිදි පිරිමි දරුවෙක් හා 13 හැවිරිදි දැරියකි.
එමෙන්ම මියගිය දරුවන් දෙදෙනාගෙන් අයෙක් වල්ලම පැදවූ යුවලේ දරුවකු වන අතර අනෙක් දරුවා එම යුවලේ ඥාති දියණියක් බව පොලීසිය පවසයි.