කෘතිම බුද්ධිය වෙනුවට ‘සුපිරි බුද්ධිය’ කියන්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අලුත් යෝජනාවක් -ට්‍රම්ප්ගේ තීරණයට තාක්ෂණික ලෝකයෙන් දැඩි විවේචන
‘කෘතිම බුද්ධිය’ (AI) යන යෙදුමෙන් එම තාක්ෂණය "ව්‍යාජ එකක්" ලෙස හැඟවෙන බැවින්, ඒ වෙනුවට එය ‘සුපිරි බුද්ධිය’ (Super Intelligence - SI) ලෙස හැඳින්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
තම 'Truth Social' ජාලයේ පැවැත්වූ ඡන්ද විමසීමකින් පසුව මෙම නම තෝරාගත් බවත්, ඉදිරියට සියලු ඇමරිකානු සහ ගෝලීය ලේඛනවල 'artificial' වෙනුවට 'super' යන්න භාවිත වන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, තාක්ෂණික ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව නාමය ප්‍රායෝගිකව පිළිගැනීමට ලක්වීමට ඉඩක් නොමැති බවයි. 'සුපිරි බුද්ධිය' යන්න දශකයකට පෙර නික් බොස්ට්‍රොම් වැනි දාර්ශනිකයන් විසින් අර්ථ දක්වන ලද, මිනිසාට වඩා සියලු අතින්ම උසස්, තවමත් උපකල්පිත මට්ටමේ පවතින පද්ධති සඳහා වෙන්වූ යෙදුමක් බව මෙල්බර්න් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරු පවසති.
වත්මන් AI තාක්ෂණය තවමත් එම තත්ත්වයට පැමිණ නොමැති බැවින් මෙම නාමකරණය නොමඟ යවන සුළු එකක් බව ඔවුන්ගේ අදහසයි.
ජනාධිපතිවරයාගේ මෙම තීරණය එක්සත් ජනපදයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ඊතන් ක්ලයින් සහ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති මයිකල් වෝල්ට්ස් වැනි සමීපතමයන්ගේ ඇගයීමට ලක්වුවද, කැනඩාවේ AI අමාත්‍ය ඉවාන් සොලමන් වැනි පාර්ශ්වයන්ගෙන් ඊට ලැබුණේ උපහාසාත්මක ප්‍රතිචාරයකි
. මේ අතර, AI තාක්ෂණයේ අවදානම් සහ නියාමනය ගැන පර්යේෂකයන් නැගූ කනස්සල්ල "ව්‍යාජ ප්‍රකාශයක්" ලෙස බැහැර කළ ට්‍රම්ප්, චීනය පරදා මෙම ක්ෂේත්‍රයේ ගෝලීය පෙරමුණ තබා ගැනීමට ඇමරිකාව කටයුතු කරන බවද අවධාරණය කළේය.