පළවෙනිදා ඉඳන් ට්‍රම්ප්ගෙන් තවත් 100%ක අමතර තීරුබද්දක්
චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා එළඹෙන නොවැම්බර් 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ තාක්ෂණික නිෂ්පාදනයන්ට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය විසින් දැඩි අපනයන පාලනයන් පැනවීම හමුවේ මෙසේ තීරු බදු පැනවීමට තමා තීරණය කළ බවයි.
ඉකුත් අප්‍රේල් මාසයේදී තාක්ෂණික නිෂ්පාදනයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ඛනිජ වර්ග 7කට චීනය විසින් අපනයන සීමා පනවා ඇත.
එසේම චිනය පසුගියදා නිවේදනය කළේ මෙම ඛනිජ වර්ග 7ට අමතරව තවත් ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවයි.
එබැවින් චීනයේ මෙම තීරණය හමුවේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නොවැම්බර් මාසයේ සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට දැනට පනවා ඇති තීරු බදුවලට අමතරව තවත් 100% ක අතිරේක තීරු බද්දක් පනවන බව සඳහන් කළා.
ඒ අනුව සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් දක්වා සිටියේ එක්සත් ජනපදයද තීරණාත්මක මෘදුකාංග සඳහා අපනයන පාලනයන් පනවන බවයි.
එමෙන්ම ජනපති ට්‍රම්ප් සිය ට්‍රෘත් සමාජ ගිණුමේ සටහන් කර ඇත්තේ චීනයේ මෙම තීරණය තමා කම්පනයට පත් කළ ඉතා නරක තීරණයක් නිසා තවත් සති කිහිපයකදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවද පැවැත්වීමට දැන් හේතුවක් නොමැති බවයි.
කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් සඳහන් කරන්නේ තමා මෙම හමුව අවලංගු කර නැති අතර ඉදිරියෙදී එය පැවැත්වීමට හැකියාව තිබෙන බවයි.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බීජිං පරිපාලනය කිසි විටෙකත් මෙම හමුව තහවුරු කර නොමැති බවයි.