හිටපු අමාත්‍ය පා. මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අද (12) පෙනී සිටීමට නියමිත බව සඳහන්. ඒ රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.
එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මන්ත්‍රීවරයාට ඉකුත් 09 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබුණත් ඔහු එදින අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටි බැවින් ඒ වෙනුවට අද (12) දින ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම්දී ඇති බව වාර්තා වේ.
මෙම කැඳවීම අල්ලස් කොමිසම විසින් කර ඇත්තේ චාමර සම්පත් දසනායක මහතා 2022 වසරේ සැප්තැම්බර් 08 සිට 2024 වසරේ සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට එවකට ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා විසින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේයැයි කියන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහායි.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැති අය ද අල්ලස් කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගෙන ඇත. එසේම ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.