ළමා පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමේ චෝදනාවට TikTok වෙතින් ඩොලර් මිලියන 400ක දැවැන්ත වන්දියක්
දරුවන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයට ඩොලර් මිලියන 400ක් ගෙවීමට TikTok සහ එහි මව් සමාගම වන ByteDance එකඟ වී තිබේ. මෙය දරුවන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සමඟ සිදු වූ විශාලතම බේරුම්කරණයන්ගෙන් එකක් ලෙස සැලකේ.
මෙම නඩුව 2024 වසරේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද්දකි. එහිදී TikTok සහ ByteDance වයස අවුරුදු 13ට අඩු මිලියන සංඛ්‍යාත දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක පෞද්ගලික දත්ත එකතු කළ බවට චෝදනා එල්ල විය.
එම ක්‍රියාකාරකම් 2000 වසරේදී හඳුන්වා දුන් ළමා මාර්ගගත පෞද්ගලිකත්ව ආරක්ෂණ පනත හෙවත් COPPA උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජනපද බලධාරීන් පෙන්වා දී තිබේ. අධිකරණ දෙපාර්තමේන්තුවේ සහකාර නීතිපති බ්‍රෙට් ෂුමාට් සඳහන් කළේ මෙම නඩුව ආරම්භ වූ අවස්ථාවට සාපේක්ෂව වර්තමානයේ දරුවන් සහ දෙමාපියන් වඩා හොඳින් ආරක්ෂා වන බවයි.
COPPA උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මීට පෙරද විශාල සමාගම්වලට දඩ නියම කර තිබේ. Google සතු YouTube සමාගම 2019දී ඩොලර් මිලියන 170ක් ගෙවා ඇති අතර, Epic Games සමාගම 2022දී ඩොලර් මිලියන 275ක ගෙවීමකට එකඟ වී තිබිණි.
නන්දා මාලනියන්ගේ අභාවය BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට- "තහනම් කළ 'පවන' සහ අසාධාරණයට එරෙහි වූ යුගයක හඬ"
TikTok සම්බන්ධ නව බේරුම්කරණය යටතේ සමාගම සහ ByteDance වහාම අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ඩොලර් මිලියන 300ක් ගෙවීමට නියමිතය. ෆෙඩරල් වෙළඳ කොමිසම සමඟ 2019දී ඇති කරගත් එකඟතා නියෝගය අවලංගු කිරීමේදී තවත් ඩොලර් මිලියන 100ක් ගෙවීමටද ඔවුන් එකඟ වී තිබේ.
ByteDance හි පූර්වගාමී සමාගමක් වූ Musical.ly සම්බන්ධයෙන්ද මෙම ගිවිසුමට කොන්දේසි ඇතුළත් වේ. එම සමාගම COPPA උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඩොලර් මිලියන 5.7ක දඩයක් ගෙවීමට සහ වයස අවුරුදු 13ට අඩු පරිශීලකයන් සඳහා දෙමාපියන්ගේ අවසරය ලබාගැනීම සහතික කිරීමට එකඟ වී තිබේ.
නඩුව ගොනු කළ අවස්ථාවේදී එක්සත් ජනපද බලධාරීන් සඳහන් කර තිබුණේ TikTok භාවිත කරන ඇමෙරිකානු පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 170 ඉක්මවන බවයි. එමෙන්ම, යෙදුම දරුවන් අතර විශාල වශයෙන් භාවිත වන නමුත් පරිශීලකයන්ගේ වයස නිසි ලෙස තහවුරු කිරීමට හෝ බාල වයස්කරුවන්ට සේවාව භාවිත කිරීමට පෙර දෙමාපියන්ගේ අවසරය ලබාගැනීමට TikTok ප්‍රමාණවත් පියවර ගෙන නොතිබූ බවට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත්, අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ නඩුව ගොනු කිරීමෙන් පසුව TikTok සමාගමේ හිමිකාරිත්වය, පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති සහ තරුණ පරිශීලකයන් සඳහා වූ ආරක්ෂක පාලන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සැලකිය යුතු වෙනස්කම් සිදු වී ඇති බවයි.
මෙම නඩුව TikTok සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පැවති පුළුල් නීතිමය සහ නියාමන ගැටලු මාලාවක කොටසකි. 2024දී ජෝ බයිඩන් පාලනය TikTok තහනම් කිරීම හෝ එහි ඇමෙරිකානු මෙහෙයුම් වෙනත් හිමිකාරිත්වයකට පැවරීම සම්බන්ධයෙන් පියවර ගත් අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව එම යෙදුම අලෙවි කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීය.
වර්තමානයේ TikTok හි ඇමෙරිකානු මෙහෙයුම්වලින් 81%ක් ආයෝජකයන්ගෙන් සමන්විත කණ්ඩායමකට අයත් වන අතර, ByteDance සතුව ඉතිරි 19%ක කොටස් ප්‍රමාණයක් පවතී. මේ සම්බන්ධයෙන් BBC කළ විමසීමට TikTok නියෝජිතයෙකු වහාම ප්‍රතිචාර දක්වා නොතිබිණි.