මෙම වසරේ සංචාරක පැමිණීම ඉතිහාසගත වාර්තාවක්
ශ්‍රී ලංකාවට වසරක් තුළ පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වී ඇත.
ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමගයි.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ආයතනය සදහන් කරන්නේ 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බවයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි සිට පැමිණි, පවුලක් වන - ෆීලික්ස් ඛෙස්ලින් පෙරේරා මහතා, රීනා ප්‍රනාන්ඩුස් මහත්මිය සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය මෙලෙස 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර තිබුණි.
ඔවුන්ගේ පැමිණීම පුද්ගලික සැමරුමක් පමණක් නොව, ජාතියේ සාමූහික ජයග්‍රහණයක් ද නියෝජනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය පෙන්වා දෙනු ලබයි.
ඒ වගේම මෙම ජයග්‍රහණය සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ. ඒ වගේම ප්රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය මෙම සංචාරක පැමිණීමෙන් පෙනී යයි.
සංචාරක ක්ෂේත්රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් ලෙස දිගටම පවතිනු ඇත. ඒ වගේම විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා සැලකිය යුතු දායකත්වයක් මෙමගින් සපයනු ලබයි.
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ව්‍යසනය වැනි අභියෝග හමුවේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බව ද, ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් සදහන් කර තිබේ.