අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විෂය සංශෝධනය සඳහා විශේෂ අවස්ථාවක්
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ තත්ත්වයන් යටතේ ගුරුවරුන්ට ඔවුන්ගේ ඉගැන්වීමේ විෂය සංශෝධනය කර ගැනීමට අවසර ලබාදී ඇත.
මෙම අවස්ථාව හිමිවන්නේ කාණ්ඩ හතක් යටතේ පත්වීම් ලබා සිටින ගුරුවරුන්ටය. ඒවා නම්;
- පත්වීම් ලිපියේ පත්වීම් විෂය සඳහන් නොවීම.
- පත්වීම් විෂය වෙනුවට විෂය ධාරාව පමණක් සඳහන් වීම.
- පත්වීම් විෂය, පාසල් විෂය නිර්දේශයේ විෂය නාමයන්ට වඩා වෙනස් වීම.
- පත්වීම් විෂය කාලීනව පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් වීම.
- පත්වීම් විෂය සඳහන් වුවද, ඊට පරිබාහිර විෂයයක් ප්‍රධාන ඉගැන්වීම් විෂය ලෙස ඉගැන්වීම.
- පත්වීම් විෂය සඳහා මාධ්‍යය (භාෂාව) සඳහන් නොවීම.
- පත්වීම් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් වුවද, රජයේ අවශ්‍යතාව මත ඉංග්‍රීසි හෝ ද්විභාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන්.
මෙම සංශෝධන සඳහා ගුරුවරුන්ට මෙම මස 22 වැනිදා දක්වා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර, අදාළ අනුමැතීන් සමඟ දෙසැම්බර් මස අවසානයට පෙර මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
අමාත්‍යාංශයේ චක්‍රලේඛයකට අනුව, මෙම අවස්ථාව මින් ඉදිරියට ලබා නොදෙන අතර, ඉදිරියේ ගුරු බඳවා ගැනීමේදී පත්වීම් විෂය නිශ්චිතව තීරණය කරන බව සඳහන් වේ.
එසේම, ඉහත කාණ්ඩ යටතේ ගුරුවරුන් සිටීම හේතුවෙන්, පාසල් පද්ධතියේ ගුරු කාර්ය මණ්ඩලයේ විෂය අනුව ඌනතා හෝ අතිරික්තතා ගණනය කිරීමේදී සහ ස්ථාන මාරුවීම්වලදී ගැටලු මතුව ඇති බව අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇත.