ට්‍රම්ප්ගේ පුරවැසි නියෝගය බිඳ වැටෙයි - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දුවක්
ඇමෙරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව හිමිවන පුරවැසිභාවය (Birthright Citizenship) සීමා කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන ආ විධායක නියෝගය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
විනිසුරුවරුන් 6 දෙනෙකුගේ සහය හා 3 දෙනෙකුගේ විරුද්ධත්වයෙන් ලබාදුන් මෙම තීන්දුව, ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්තියට එල්ල වූ ප්‍රබල නීතිමය පසුබෑමක් ලෙස සැලකෙනවා.
අගවිනිසුරු ජෝන් රොබට්ස් සිය තීන්දුවෙන් සඳහන් කළේ, ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ භාෂාව ඉතා පැහැදිලි වන අතර, ඇමෙරිකාවේ උපත ලබන සියලු දරුවන්ට පුරවැසිභාවය හිමිවන බවයි.
එහි දෙමාපියන්ගේ සංක්‍රමණික තත්ත්වය හෝ රට තුළ රැඳී සිටීමේ නීත්‍යානුකූලභාවය සලකා බැලිය නොහැකි බවද අධිකරණය අවධාරණය කළා. 1898 වසරේ "United States v. Wong Kim Ark" නඩු තීන්දුවද මෙම තීරණයට පදනම වූ අතර, එම නඩුවෙන්ද ඇමෙරිකාවේ උපත ලබන බොහෝ දරුවන්ට පුරවැසිභාවය හිමිවන බව තහවුරු කර තිබුණා.
කෙසේ වෙතත්, විනිසුරු සැමුවෙල් ඇලිටෝ, ක්ලැරන්ස් තෝමස් සහ නීල් ගෝර්සච් මෙම තීන්දුවට විරුද්ධ වූ අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයට නොගැළපෙන බව ඔවුන්ගේ මතය විය.
මේ අතර විනිසුරු බ්‍රෙට් කැවනෝ වෙනම මතයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ව්‍යවස්ථාව වෙනස් කිරීමකින් තොරව වුවද, අවශ්‍ය නම් කොංග්‍රසයට නව නීතියක් මගින් උපන් පුරවැසිභාවයට සීමා පැනවීම පිළිබඳ සලකා බැලිය හැකි බවයි.
මෙම තීන්දුවත් සමඟ, නීතිවිරෝධී හෝ තාවකාලික සංක්‍රමණිකයන්ගේ දරුවන් ඇතුළු ඇමෙරිකාවේ උපත ලබන සියලු දරුවන්ට උපන් මොහොතේ සිටම ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවන බව ශ්‍රේෂ්ඨාධිකරණය යළිත් තහවුරු කර තිබෙනවා.
මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ සංක්‍රමණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ ප්‍රධානතම නීතිමය පරාජයන්ගෙන් එකක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.