හදිසි විදුලි බිඳ වැටීමක්
ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලි බිඳවැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් අලුයම් කාලයේ මෙම බිඳවැටීම දිවයින පුරා සිදුව ඇත. විදුලි බිඳවැටීම හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා ඇතිව ඇති අතර, මැඩ්රිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලිස්බන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තාවකාලිකව වසා දමා ඇත.
මේ අතර, දෙරටේ විදුලි සංදේශ සේවාවන් ද අඩාල වී ඇති අතර, ජංගම දුරකථන ජාලවලට දැඩි බලපෑම් එල්ල වී ඇත. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගර මධ්‍යයේ අලෝක සංඥා පුවරු ක්‍රියා විරහිත වීමෙන් බරපතල රථවාහන තදබදයක් ඇතිව ඇත.
එසේම, ස්පාඤ්ඤයේ ජාතික දුම්රිය සමාගම වන රෙන්ෆේ පවසන්නේ, විදුලි බිඳවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ද අඩාල වී ඇති බවයි.
කෙසේ වෙතත්, ස්පාඤ්ඤයේ උතුරු සහ දකුණු ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට එරට විදුලි බල අංශය කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
ස්පාඤ්ඤයේ විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට පැය 10ක පමණ කාලයක් ගතවිය හැකි බව එරට විදුලි බල අංශය පවසයි. පෘතුගාලයේ බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට සතියක පමණ කාලයක් ගතවිය හැකි බව පෘතුගාලයේ බලශක්ති සමාගමක් වන REN පවසයි.
මේ අතර, ස්පාඤ්ඤයේ අගමැතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂණ රැස්වීමක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්පාඤ්ඤ ගුවන්තොටුපළවලට ගමන් කිරීමෙන් වළකින ලෙස එරට ගුවන් සමාගම් මගීන්ට දැනුම් දී ඇත.
පෘතුගාලය චෝදනා කරන්නේ, ස්පාඤ්ඤයේ විදුලි බල පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදුවූ බවයි. එහෙත්, ස්පාඤ්ඤය මෙම චෝදනාවට තවමත් ප්‍රතිචාර දක්වා නැත.
මේ අතර, මෙම විදුලි බිඳවැටීම හේතුවෙන් ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල ද තාවකාලිකව විදුලි සැපයුම බාධාවට ලක්ව ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
