ඊජිප්තුව හරහා එන ලාංකිකයින්ට දැන් ඊශ්‍රායල් වීසා අනිවාර්යයි
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සතුව ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්ය බවයි.
ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා තැබීම හේතුවෙන්, ඊශ්‍රායලයෙන් පිටව යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අවශ්‍ය ලියකියවිලි ලබාගැනීමෙන් පසු ඊජිප්තු දේශසීමාව හරහා ගමන් කළ හැකි බවට මීට පෙර දැනුම්දීමක් සිදු කර තිබිණි. එම ලියකියවිලි සමඟ ඊජිප්තුවේ කයිරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාව බලා පැමිණීමේ හැකියාව පවතී.
කෙසේ වෙතත්, ඊයේ (20) දින ඊජිප්තු දේශසීමාව හරහා ගමන් කර කයිරෝ ගුවන්තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු අතර සිටි එක් ශ්‍රී ලාංකිකයෙකුට ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍රයක් නොතිබූ හේතුවෙන් ඊජිප්තු බලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇත. මෙම සිදුවීම පිළිබඳ ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව, ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට හැකිවූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
තානාපති නිමල් බණ්ඩාර මහතා අවධාරණය කරන්නේ, හදිසි තත්ත්වයක් යටතේ වුවද, ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍රයක් නොමැති හෝ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර සහිත පුද්ගලයින්ට ඊජිප්තුවට ඇතුළුවීමට නොහැකි බවයි. එලෙස ගමන් කිරීමට උත්සාහ කළහොත්, දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දීමට මෙන්ම, ඇතැම් අවස්ථාවලදී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව, වලංගු වීසා බලපත්‍ර නොමැති හෝ කල් ඉකුත් වූ වීසා සහිත ශ්‍රී ලාංකිකයින්ට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොලැබෙන අතර, ඔවුන් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත වන තුරු බලා සිටීමට සිදුවන බව තානාපතිවරයා සඳහන් කරයි.
ඊයේ දිනයේදී, තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්ව යාම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ, අවශ්‍ය ලියකියවිලි ලබාගත් බව තානාපතිවරයා පවසයි. තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරමින් සිටින අතර, ඔවුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දෙයි.
ඊයේ රාත්‍රියේ සහ අද (21) අලුයම ඊශ්‍රායලයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායලයද ඉරානයේ හඳුනාගත් ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය පවසයි.
ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය
2025 ජුනි 20 වැනි දින රාත්‍රියේ සහ 21 වැනි දින අලුයම ඊශ්‍රායලයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. මේ හේතුවෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇත.
මේ අතර, ඊශ්‍රායලය විසින් ද 2025 ජුනි 20 වැනි දින ඉරානයේ හඳුනාගත් ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීම ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත.
මානව හිමිකම් සංවිධානවල වාර්තාවලට අනුව, 2025 ජුනි 13 වැනි දින සිට මේ දක්වා ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ 657 දෙනෙකු මියගොස් ඇති අතර, 2000කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 24 දෙනෙකු මියගොස් ඇති අතර, 1300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
ශ්‍රී ලාංකිකයින් සඳහා උපදෙස්
ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට, පවතින යුධමය තත්ත්වය හමුවේ විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, ඊශ්‍රායල රජය විසින් ලබාදෙන ආරක්ෂක උපදෙස් හා මාර්ගෝපදේශනයන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
