ගුරුවරුන් බඳවාගැනීමේ දිනය මෙන්න - උපාධිධාරීන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්
දිවයිනේ ජාතික සහ පළාත් පාසැල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්රී ලංකා ගුරු සේවයේ 111 (1) (අ) ශ්රේණියට බඳවා ගැනීම පිළිබඳව 2026 මැයි සම 24වැනි දින පවත්වන ලද තරග විභාගයේ ප්රතිඵල මේ වන විට නිකුත් කර ඇති බවත් ඒ අනුව 17,000ක පිරිසක් පළමු අදියරේදී බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වැනි දින සිට ආරම්භ කෙරෙන බවත් අධ්යාපන අමාත්යංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්රකාශ කර ඇත.
අද (14) ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්ය සාකචඡාවකට සහභාගී වෙමිනුයි. 2023 වර්ෂයේදී රාජ්ය සේවයේ නිරත උපාධිධාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ සීමිත තරග විභාගය එම වසරේදී පැවැත්වීමට නොහැකි වූ බව සඳහන් කළ ඒ මහතා විවිධ පාර්ශ්ව විවිධ කරුණු ඉදිරිපත් කරමින් ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පවරා තිබූ බවත් ඒ හේතුවෙන් ශ්රේෂ්ඨාධිකරණය මෙම තරග විභාගය පැවැත්වීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළ බව ද ප්රකාශ කර ඇත.
මෙම වාරණ නියෝගිය 2025 වර්ෂයේ අග දක්වා බල පැවැත්වීම හේතුවෙන් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දුන් ඒ මහතා අනතුරුව මෙම වසරේ දී තරග විභාගය පැවැත්වීමට හැකි වූ අතර ඒ සඳහා උපාධිධාරීන් 126034ක් සීමිත හා විවෘත කාණ්ඩයෙන් විභාගයට පෙනී සිටි බවත් පෙන්වා දී ඇත.
ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ උපාධිධාරී ගුරු පුරප්පාඩු 23000ක් දිවයින පුරා පාසල්වල පවතින බව සඳහන් ඒ මහතා මෙම වර්ෂය අවසන් වීමට ප්රථම මෙම සියලු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි. තවද පළාත් මට්ටමින් අධ්යාපනවේදී ගුරුවරුන් බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා එම බඳවාගැනීම් පවතින පුරප්පාඩුවලට බඳවා ගැනීමට බලපෑමත් ඇති නොකරන බවද අවධාරණය කළේය.