රාජ්‍ය සේවයේ විශාල වෙනසක් - රාජ්‍ය නිලධාරීන්ට හා ජනතාවට ජනපතිගෙන් නිවේදනයක් - ජනතාවට රාජ්‍ය ආයතන වලට එන්න අවශ්‍ය නැති වෙයි
රාජ්‍යත්වය සමඟ කරන සියලු ගනුදෙනු ඩිජිටල් පද්ධතියකට රැගෙන එන බවත්, ලබන වසර වන විට ජනතාවට රාජ්‍ය සේවාවලින් සියයට අසූවක් ගෙදර සිටම කරගත හැකි වන පරිදි ඩිජිටල් පද්ධතිය සංවර්ධනය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බේරුවල ප්‍රදේශයේ පැවැති ජන හමුවට එක්වෙමින්ය.
මෙම ඩිජිටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් සංඥා පහසුකම් (4G) අත්‍යවශ්‍ය වන බැවින්, රට තුළ 4G පහසුකම් ලබා දීම සඳහා කුළුණු 1000 ක් සෑදිය යුතු බවට අනාවරණය වී ඇති බවත්, ඒ අනුව, ඉදිරි අවුරුදු 3 ක් ඇතුළත එම කුළුණු 1000 රට තුළ සාදන අතර, ලබන වසර තුළ පමණක් කුළුණු 250 ක් ඉදි කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම ඩිජිටල් අවකාශයට පිවිසීම සඳහා අවශ්‍ය වන ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට උත්සාහ කරන බවත්, එම හැඳුනුම්පත මඟින් ජනතාවට සියලු රාජ්‍ය ගනුදෙනු සිදු කරමින් රට ඩිජිටල්කරණය කරා ගෙන යාමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසුවා.
“රාජ්‍යත්වයත් සමග කරන සියළු ගනුදෙනු ඩිජිටල් පද්ධතියකට රැගෙන එනවා. ගෙදර ඉදගෙන ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අපි තෝරාගෙන තියෙනවා ජනතාව ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්නේ මොනවාද කියලා. ලයිට් බිල ගෙවන්න, වතුර බිල ගෙවන්න, වරිපනම් ගෙවන්න, උප්පැන්න සහතික ගන්න, වාහනය රෙජිස්ටර් කරගන්න, බදු ගෙවන්න, මේ වගේ රාජ්‍යයත් එක්ක ජනතාව ගොඩක් වැඩ කරනවා. අපි ඔක්කෝම ලිස්ට් කළා. එහෙම කරලා බැලුවා ජනතාව ආණ්ඩුවත් එක්ක කරගන්න වැඩ මොනවද කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා, මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා, පාස්පෝට් කාර්යාලයට ගිහිල්ලා, අයිඩෙන්ට් කාඩ් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කොච්චර වැඩ කොටසක් කරගන්නවාද? අපි ඒ ඔක්කෝම ලැයිස්තුවකට අරගෙන ලබන අවුරුද්දේ සියයට අසූවක් ගෙදර ඉදලා කරගන්න පුළුවන් විදිහට ඩිජිටල් පද්ධතිය සංවර්ධනය කරනවා.
උප්පැන්න සහතිකය ගෙදර ඉදන්, මරණ සහතිකය ගෙදර ඉදන්, වාහනය රෙජිස්ටර් කරන්න පුළුවන් ගෙදර ඉදන්. බදු ගෙවන්න පුළුවන් ගෙදර ඉදන්. දැනුත් ඒක කරන්න පුළුවන්.මේ ඔක්කෝම කාර්යාල ගානේ රස්තියාදු වෙනනේ නැතුව කරගන්න මුළු ඩිජිටල් පද්ධතිය ඇති කරනවා. එතකොට ප්‍රශ්නයක් එනවා වේගවත් සිග්නල් ඕන. 4G ඕන. 4G නැතුව ඇපිට ඒකට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. දැනට අපි සංගනයක් කරලා බැලුවා 4G පහසුකම දෙන්න කුළුණු 1000ක් හදන්න ඕන රට ඇතුළේ. අපි අවුරුදු 03ක් ඇතුළත මේ කුළුණු 1000 ලංකාවේ හදනවා. ලබන අවුරුද්දේ 250ක් හදනවා. එතකොට තමුන්ට පුළුවන් ගෙදර ඉදන් ගනුදෙනු කරන්න. ඒකට අවශ්‍ය වන ඩිජිටල් හැදුනුම්පත ඕන. ඒ ඩිජිටල් හැදුනුම්පත අපි උත්සාහ කරනවා මේ වසරේ දෙසැම්බර් මාසේ නිකුත් කරන්න. ඒ හැදුනුම්පතින් අපිට සියළු ගනුදෙනු කරන්න පුළුවන්. ඩිජිටල් අවකාශයට යන්න පුළුවන්. අපේ රට ඩිජිටල්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා."