දෙවිනුවර ඇසළ පෙරහැර සම්බන්ධයෙන් සුවිශේෂී තීරණයික් ගැනීමට විශේෂ හමුවක් කැදවයි
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
අද දහවල් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ බව තහවුරු කළ අතර, පවතින තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා අද පස්වරු 4:00ට මාතරදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, මාතර දිසාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන් පරිදි, මීට වසර 35-40කට පෙර සිට දෙවිනුවර ඇසළ පෙරහැරට කාවඩි නර්තනය ඇතුළත්ව තිබුණද, පසුගිය වසර කිහිපය තුළ එහි බරපතළ විනය පිරිහීමක් දක්නට ලැබී ඇත. කාවඩි නර්තන ශිල්පීන්ගේ ඇඳුම්වල පවතින ගැටලු, අඩ නිරුවතින් හෝ අශෝභන ලෙස නර්තනයේ යෙදීම සහ නර්තන ශිල්පීන් බහුතරයක් අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම යනාදී කරුණු මෙයට ප්‍රධාන හේතු වී තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය වසරේ පෙරහැර නිමාවීමෙන් පසු, බස්නායක නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සංගමයක් පිහිටුවා විනය විරෝධී ලෙස හැසිරුණු කණ්ඩායම් කිහිපයක් මෙවර පෙරහැරෙන් ඉවත් කර අනෙක් පිරිසට පමණක් අවස්ථාව දීමට මීට පෙර තීරණය කර තිබුණි.
නමුත් පිරිසකට පමණක් අවස්ථාව දීමේ තීරණයත් සමඟ ඊට සම්බන්ධ පාතාල කණ්ඩායම් කිහිපයක් අතර නොසන්සුන්තා ඇතිවී ඇති අතර, එනිසා පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවී තිබේ.
පෙරහැරේ පරිපාලන බලතල ඇත්තේ දිසාපතිවරයාට බවත්, පොලීසියට ඇත්තේ ආරක්ෂාව සැපයීම පමණක් බවත් පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කාවඩි අංගය පමණක් පෙරහැරෙන් ඉවත් කිරීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිර්දේශයක් ඉදිරිපත් කර තිබූ බවයි.
කෙසේවෙතත්, අද උදෑසන දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් සියලුම කණ්ඩායම්වලට පෙරහැරට සහභාගී වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ලිපියක් ඉදිරිපත් කර ඇති බැවින්, කාවඩි නර්තන කණ්ඩායම් සහභාගී කරවා ගන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද සන්ධ්‍යාවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.