චෙන්නායි උඩුයටිකුරු කරන්න විජයගෙන් දැවැන්ත සැලසුම් - ඔලිම්පික් නගරයක් සමඟ Formula 1 ගෙන ඒමටත් සූදානම්

By Malith Madushan Sep 03, 2026 09:01 AM GMT
Report

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජය විසින් චෙන්නායි නගරයේ ලෝක මට්ටමේ ඔලිම්පික් නගරයක් සහ මෝටර් රථ ක්‍රීඩා සඳහා වෙන්වූ නගරයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේදී බ්‍රහස්පතින්දා අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමිල්නාඩු ක්‍රීඩා සංවර්ධන අධිකාරිය යටතේ මෙම ඔලිම්පික් නගරය සංවර්ධනය කිරීමට නියමිත බවයි.

යෝජිත ඔලිම්පික් නගරය තුළ ලෝක මට්ටමේ ක්‍රීඩාංගණ, නවීනතම ක්‍රීඩා උපකරණ, ඉහළ කාර්යසාධන පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම ක්‍රීඩා විද්‍යා සහ ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානද ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

ස්ටාලින්ගේ කොලතූර් ඡන්ද ගණන් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ස්ටාලින්ගේ කොලතූර් ඡන්ද ගණන් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා නේවාසික පහසුකම් ඇතුළු නවීන යටිතල පහසුකම්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත. තමිල්නාඩුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් මට්ටමේ පුහුණුව සහ අවශ්‍ය සහාය ලබාදීම තුළින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරගවලදී වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර, චෙන්නායි නගරයේ මෝටර් රථ ක්‍රීඩා සඳහා වෙන්වූ නගරයක්ද ස්ථාපිත කර එහි Formula 1 ඇතුළු මෝටර් රථ ධාවන තරග පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෝටර් රථ ක්‍රීඩා සඳහා තරුණයින් සතු දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට පුහුණුව සහ ධාවන අවස්ථා ලබාදීම තුළින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ශූරයන් බිහිකිරීමද මෙහි අරමුණකි. ලෝක මට්ටමේ මෝටර් රථ ධාවන පථ සහ ක්‍රීඩා පහසුකම් ස්ථාපිත කිරීම හරහා සංචාරක කර්මාන්තය, විශේෂිත මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය, රැකියා අවස්ථා සහ ආර්ථික සංවර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය වනු ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර, 2028 වසර අවසන් වන විට ඉන්දියාව තුළ Formula 1 තරග යළි පැවැත්වීමේ අරමුණින් ඉන්දීය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය (MYAS) විසින් පසුගිය ජුනි මාසයේදී මෝටර් රථ ක්‍රීඩා අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක්ද පිහිටුවා ඇත.

මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධයෙන් රට තුළ පවතින තත්ත්වය අධ්‍යයනය කර අමාත්‍යාංශයට වාර්තාවක් ඉදිරිපත් කිරීම එම කාර්ය සාධක බලකායේ වගකීම බව MYAS ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඒ අනුව, චෙන්නායි නගරය ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා සුදුසු ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙන්ම මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව අවස්ථා නිර්මාණය කිරීමද තමිල්නාඩු රජයේ නව සැලසුම්වලට ඇතුළත් වේ.

ඉරාන ලොක්කෝ අපේ බුද්ධි අංශ නිසා පන බයේ - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරාන ලොක්කෝ අපේ බුද්ධි අංශ නිසා පන බයේ - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්