දේශීය සිනමා කර්මාන්තයට සුබ වෙයි - මේ වෙනුවෙන් අලුත් පාසලක් අරඹන්න සැරසෙයි
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.
එහිදී ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ සිනමා පාසලක් ආරම්භ කිරීමේ යෝජනාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇත. එහි මූලික අරමුණ දේශීය සිනමා ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය දැනුම, කලාත්මක නිපුණතා සහ නව තාක්ෂණික හැකියාවන්ගෙන් සන්නද්ධ නව පරපුරක් බිහිකිරීම බව සඳහන්.
එමෙන්ම නිර්මාණාත්මක චිත්‍රපට නිෂ්පාදනයට අදාළ පුහුණුව, පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු සඳහා සංවිධානාත්මක වේදිකාවක් වශයෙන් මෙවැනි පාසලක් පිහිටුවීම කාලෝචිත මෙන් ම අත්‍යවශ්‍ය පියවරක් බව ද සාකච්ඡා කර ඇත.
රටම බලා සිටි දන්සැල් ලියාපදිංචිය අද සිට ඇරඹෙයි - සංවිධායකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
මෙම යෝජිත සිනමා පාසල මඟින් දේශීය සිනමාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වයක් ඇති කිරීම සහ ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ තිරසාර සංවර්ධනය උදෙසා සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇති බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, එහි සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ සමන් වීරවංශ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය භාරත හේරත් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රවර්ධන) ධම්මිකා විජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.