ඇගලුම් ක්ෂේත්‍රයේ ඉන්න ඔබට අසුබ ආරංචියක් - ලබාදෙන සහනයක් සඳහා දැඩි කොන්දේසියක්
ලංකාවට මීළඟ අදියරේදී මුහුණදීමට සිදුවන්නේ දැඩි කොන්දේසි සහිත ජී.එස්.පී. ප්ලස් නව ක්‍රමයකට බැවින්, එම නව රෙගුලාසි යටතේ සහනය තවදුරටත් ලබාගැනීමට ශ්‍රී ලංකාව විධිමත් ලෙස නැවත අයැදුම් කළ යුතු බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.
එසේ නැවත අයැදුම් නොකළහොත්, 2029 වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාවේ අපනයන සඳහා සාමාන්‍ය එම්.එෆ්.එන්. තීරුබදු අදාළ වීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි බවට එම සංසදය අනතුරු අඟවයි.
වරණීය වෙළෙඳ සහන ලබාදීම සහ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව මෙන්ම යහපාලනය පිළිබඳ අනුකූලතාව අතර සම්බන්ධතාව තවදුරටත් දැඩි කරන සංශෝධිත ජී.එස්.පී. රෙගුලාසියක් යුරෝපා සංගම් කවුන්සිලය විසින් ඉකුත් මැයි 22 වැනිදා අනුමත කරන ලදී.
ඒ අනුව, 2027 ජනවාරි 01 වැනිදා සිට ජී.එස්.පී. ප්ලස් සහන ලබන රටවල් දැනට පවතින කොන්දේසිවලට අමතරව වඩා පුළුල් ජාත්‍යන්තර වගකීම් මාලාවකට අනුකූල විය යුතුය.
ගල් අගුරු නිසා ආණ්ඩුවට තවත් කේස් එකක් - ගෙන්වන ලද ගල්අඟුරු නැව් 19ක්ම ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයක්
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සන්නද්ධ ගැටුම්වලදී ළමා ආරක්ෂාව, කම්කරු පරීක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, පැරිස් දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය එම නව වගකීම් අතරට ඇතුළත් වේ. මීට අමතරව බරපතළ හෝ හදිසි අනුකූලතා බිඳවැටීමකදී වෙළෙඳ සහන ඉක්මනින් ඉවත් කළ හැකි "හදිසි සහන ඉවත් කිරීමේ" ක්‍රමවේදයක් ද අලුතින් හඳුන්වා දීමට නියමිතය.
සහනය ලබන රටවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචන චක්‍රය වසර දෙකේ සිට වසර තුන දක්වා දීර්ඝ කර ඇති බැවින්, අනුකූලතා ගැටලුවක් මතුවුවහොත් එය නිවැරැදි කර ගැනීමට ලැබෙන අවස්ථා අඩුවනු ඇත.
ශ්‍රී ලංකාවට දැනට හිමි ජී.එස්.පී. ප්ලස් සහන 2028 වසර අවසානය දක්වා ක්‍රියාත්මක වුවද, එය ඉන්පසුව ස්වයංක්‍රීයව අලුත් නොවන බව JAAF සංසදය පෙන්වා දෙයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජී.එස්.පී. ප්ලස් සහන භාවිත අනුපාතය පවතින්නේ සියයට 49 ත් 59 ත් අතර මට්ටමකය. එනම්, හිමිව ඇති වෙළෙඳ වාසියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වන්නේ දේශීය රෙදිපිළි නිෂ්පාදන පදනම යුරෝපා සංගමයේ මූලාරම්භ නීතිවලට අනුකූල වීමට තවමත් ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර තුනක් ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය පවත්වාගෙන ගියහොත් සහන ක්‍රමයෙන් ඉවත් වීමට සිදුවන බැවින් අයැදුම්පත ඉදිරිපත් කරන කාලය ඉතා තීරණාත්මක වේ. 2027 වසරේ මුල් භාගයේදී අයැදුම් කිරීමෙන් සංක්‍රාන්ති කාලසීමාවක් ලබාගැනීමට හැකි වුවද, 2028 වසරේ අග භාගය දක්වා එය ප්‍රමාද කළහොත් 2029 මැද භාගයේ සිට සාමාන්‍ය තීරුබදුවලට මුහුණ දීමට සිදුවනු ඇත.
තවද, මීළඟ තීරණය හුදෙක් රජයේ පොරොන්දු හෝ ක්‍රියාකාරී සැලසුම් මත පමණක් තීරණය නොවන අතර, ප්‍රායෝගිකව ගෙන ඇති මැනිය හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යුරෝපා සංගමය නිරීක්ෂණය කරනු ඇත.
ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර නව නීතිමය රාමුවක් හඳුන්වා දීම, මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් සුරැකීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සහ නියාමනය නොකළ ධීවර කටයුතු වැළැක්වීම වැනි කරුණු සම්බන්ධයෙන් රජය සැබෑ ප්‍රගතියක් පෙන්විය යුතු බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.