මේ දරුවන් පිළිබඳව ඉතා භයානක හෙළිදරව්වක් - දරුවන් ගැබ් ගන්නා නව ක්‍රමයක් ගැන විමර්ශන
ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය මඟින් හඳුනාගන්නා සහකරුවන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව පොලීසිය අනාවරණය කරයි.
දෙමාපියන් විසින් බාලවයස්කාර ළමුන්ට ජංගම දුරකථන ලබාදීමෙන් පසුව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන ලෙස හේතු වී තිබේ.
මෙලෙස ගොඩනඟා ගන්නා අතථ්‍ය සබඳතා ඔස්සේ අවුරුදු 15 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ බාලවයස්කාර දැරියන් අදාළ පුද්ගලයන් හමුවීමට නිවෙස්වලින් බැහැරට ගොස් අපයෝජනයට ලක්වීමෙන් ගැබිනියන් බවට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසියට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතියි.
එසේම දැරියන්ට අමතරව පිරිමි ළමුන් ද සමාජ මාධ්‍ය නොමනා ලෙස භාවිත කිරීම තුළින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්තයන්ට අනුව, මෙවැනි සිදුවීම්වල බරපතළකම මනාව පැහැදිලි වේ. ගතවූ මාස කිහිපය තුළ පමණක් යොවුන් වියේ සිදුවූ ගැබ්ගැනීම් පිළිබඳ පැමිණිලි 40 ක්, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 101 ක්, බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ පැමිණිලි 60 ක් සහ ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි 213 ක් එම අධිකාරිය වෙත ලැබී ඇත.
සමාජ විද්‍යාඥයන් ද පෙන්වා දෙන්නේ මෙය ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස වර්ධනය වන සමාජ අර්බුදයක් බවයි. මෙම අවාසනාවන්ත තත්ත්වය පාලනය කිරීම සඳහා ළමුන්ට ජංගම දුරකථන ලබාදීමේදී සහ භාවිත කිරීමේදී දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පොලීසිය අවධාරණය කරයි.
එමෙන්ම තම දරුවන් සමාජ මාධ්‍ය හරහා ඇසුරු කරන්නේ කෙබඳු පුද්ගලයන් ද යන්න පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස ද පොලීසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.