ගල් අගුරු නිසා ආණ්ඩුවට තවත් කේස් එකක් - ගෙන්වන ලද ගල්අඟුරු නැව් 19ක්ම ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයක්
නොරොච්චෝලේ ලක්විජය බලශක්ති සංකීර්ණය සඳහා පසුගිය කාලයේ මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු නැව් 19ම ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු බව ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඔස්ට්‍රේලියාවේ බියුරෝ වෙරිටාස් ඉන්ටර්නැෂනල් සමාගම මඟින් සිදුකරන ලද මෙම තෙවන පාර්ශ්වීය පරීක්ෂණ වාර්තා ද මන්ත්‍රීවරයා විසින් සභාව හමුවේ තබන ලදී. ඉදිරිපත් කරන ලද පරීක්ෂණ වාර්තාවලට අනුව, පළමු නැවේ සිට දහනවවන නැව දක්වා වූ සියලුම ගල්අඟුරු තොගවල ප්‍රමිති අගයන් පැවතිය යුතුව තිබූ මට්ටමට වඩා ඉතා පහළ මට්ටමක පැවැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව පිළිවෙළින් පළමු නැවෙහි ප්‍රමිති අගය 5420 ක් ද, දෙවැනි නැව 5607 ක්, තුන්වැනි නැව 4901 ක්, සිව්වැනි නැව 5398 ක්, පස්වැනි නැව 5503 ක්, හයවැනි නැව 5011 ක්, හත්වැනි නැව 4762 ක්, අටවැනි නැව 4776 ක්, නවවැනි නැව 4929 ක්, දසවැනි නැව 4959 ක්, එකොළොස්වැනි නැව 4831 ක්, දොළොස්වැනි නැව 4858 ක්, දහතුන් වැනි නැව 4959 ක්, දාහතරවැනි නැව 4897 ක්, පහළොස් වැනි නැව 5822 ක්, දහසයවැනි නැව 4871 ක්, දාහත්වැනි නැව 5789 ක්, දහඅට වැනි නැව 5340 ක් සහ දහනව වැනි නැව 4943 ක් වශයෙන් සටහන්ව තිබූ බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
මෙලෙස බාල ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා කාලය තුළ මෙගාවොට් 300 ක අවශ්‍ය විදුලි ධාරිතාව නිසි ලෙස නිෂ්පාදනය කිරීමට නොහැකි වී තිබේ.
ඒ හේතුවෙන් ඇති වූ හිඟය පියවා ගැනීමට වෙනත් ක්‍රමවේද හරහා විදුලිය සැපයීමට සිදුවීමෙන් රුපියල් මිලියන 8,536 ක අමතර පිරිවැයක් දැරීමට සිදු වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා වාර්තාවලින් පැහැදිලි වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැප්තැම්බර් මස 12 වනදා දක්වා භාවිත කිරීමට සිදුවන බැවින් සිදු වන සමස්ත අලාභය රුපියල් මිලියන 10,000 (කෝටි 1,000) ඉක්මවා යනු ඇතැයි ද, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට සිදුවන හානිය සහ ගෙවීමට සිදුවන නඩත්තු පිරිවැයත් සමඟ මෙම පාඩුව තවත් විශාල ලෙස ඉහළ යා හැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.