ලංකාව ගැන සතුටු හිතෙන ආරංචියක් - සද්ද නැතුව ලංකාවත් උඩටම ගිහින්
ශ්‍රී ලංකාව විසින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශක ලයිස්තුවේ (CPI) ගෝලීය වශයෙන් රටවල් 14ක් පසුකර ඉදිරියට පැමිණ ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව 2024 දී 121 වන ස්ථානයේ සිට 2025 දී 107 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර එය 2024 වසර වසරේ ලද ලකුණු ප්‍රමාණයට වඩා +3ක වර්ධනයක් බව නවතම දූෂණ සංජානන දර්ශකයේ නිවේදනයට අනුව වාර්තා වේ.
ලෝකයේ රටවල් 181 ත් අතරින් 107 ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති අතර දූෂණ සංජානන දර්ශකය (CPI) යනු ලෝකයේ බහුලව භාවිතා වන ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීමක් වන අතර එය එක් එක් රටේ රාජ්‍ය අංශය කෙතරම් දූෂිතද යන්න මනිනු ලබයි.
රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් අනුව දූෂණ සංජානන දර්ශකයේ රටවල් 181 ක් ශුන්‍ය (ඉතා දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) දක්වා ශ්‍රේණිගත කරනු ලබයි. ඒ අනුව අටවන වසරටත්, ඩෙන්මාර්කය දර්ශකයේ ඉහළම ලකුණු (89) ලබා ගත අතර ෆින්ලන්තය සහ සිංගප්පූරුව එහි ඉහළින් රැඳී සිටින රටවල් බවට පත් වී ඇත.
අඩුම ලකුණු ඇති රටවල් අතර දකුණු සුඩානය (9), සෝමාලියාව (9) සහ වෙනිසියුලාව (10) පසුවන අතර ගෝලීය වශයෙන් දූෂණය නරක අතට හැරෙමින් පවතින බවත්, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා නායකත්වයේ පරිහානිය මධ්‍යයේ දූෂණය ඉහළ යන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසයි.
මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් සඳහා ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් සහ ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩල ඇතුළු ස්වාධීන බාහිර මූලාශ්‍ර 13 ක දත්ත උපයෝගී කරගෙන ඇත.
මෙහිදී දර්ශකයට අදාල කරගන්නා රටවල් හා පාලන ප්‍රදේශවලට 0 සිට 100 දක්වා වූ පරිමාණයකින් ලකුණු ලබා දෙන අතර, “0” මගින් හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාල රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂිත බවට සංජානනය වන බවත්, “100” හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාල රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය තන්ත්‍රයක් බවට සංජානනය වන බවත් නිර්වචනය කරනු ලබයි.