රාජ්‍ය සේවයේ රැකියා සිහිනය සැබෑ වෙයි - කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්

By Ashfa Jul 14, 2026 04:50 PM GMT
Report

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම මෙන්ම රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව, මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල යටතේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ජූලි 16 වන දින පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයකට පසු පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමේ අරමුණින්, බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස පුද්ගලයින් 627 දෙනෙකු සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 04 වැනිදා පත්වීම් ප්‍රදානය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉතිරි සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් යටතේ ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඒ අනුව ලබන ජූලි 18 වන දින සෞඛ්‍ය කාර්ය සහායකයින් 600 කට සහ අගෝස්තු 01 වන දින තවත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 762 කට පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මීට අමතරව, ඉදිරි දෙසතිය තුළ ඩෙංගු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළු සේවා පාලක වෘත්තිකයින් 121 දෙනෙකු සඳහා වන පත්වීම් ප්‍රදානය කිරීමටද කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව ඉදිරි දෙසතිය තුළ පත්වීම් ලබන සමස්ත සෞඛ්‍ය කාර්ය සහායක, ඩෙංගු මර්දන සහායක සහ නිරීක්ෂක වෘත්තිකයින් සංඛ්‍යාව 1,778 ක් බව එම අමාත්‍යාංශය පවසයි.