බරපතළ සීනි හිඟයක් සමඟ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්
ඉන්දියාව විසින් සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම නිසා ඉදිරියේදී මෙරට වෙළෙඳපොළ තුළ බරපතළ සීනි හිඟයක් මෙන්ම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ යෑමේ දැඩි අවදානමක් පවතින බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
ඉකුත් මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා සීනි අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දීය රජය හදිසියේ ගත් තීරණයත් සමඟ, බ්‍රසීලය, තායිලන්තය සහ යුරෝපීය රටවල් කිහිපයකින් විකල්ප වශයෙන් සීනි ආනයනය කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව එම සංගමයේ ප්‍රකාශකයෙකු පවසයි.
එසේම මෙතෙක් කල් ඉන්දීය සීනි ආනයනය මත බෙහෙවින් යැපුණු ශ්‍රී ලංකාවට, මෙම හදිසි තීරණය නිසා නව සැපයුම්කරුවන් සොයා ගැනීමට සිදුව ඇති බව සඳහන්.
එබැවින් ඉදිරි මාස කිහිපය තුළ සීනි මිල ඉහළ යෑමේ සහ වෙළෙඳපොළ තුළ හිඟයක් ඇතිවීමේ දැඩි බියක් හටගෙන ඇත. කෙසේ වෙතත් සංගමයේ දත්තවලට අනුව, බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීමට මේ වන විටත් ඇණවුම් ලබා දී ඇතත්, දිගු මුහුදු මාර්ග සහ සැපයුම් දාමයන්හි පවතින ප්‍රමාදයන් නිසා එම තොග මෙරටට ළඟාවීමට අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරයි.
එමෙන්ම අඳාළ ප්‍රකාශකයා පෙන්වා දී ඇත්තේ ඉන්දියාව විසින් පිරිපහදු කළ සීනි අපනයනය සීමා කර නොමැති වුවද, සාමාන්‍ය සීනිවලට වඩා එහි මිල අධික බැවින්, දැනටමත් ජීවන වියදම් බරින් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන්ට එය තවත් දැඩි බරක් වනු ඇති බවයි.
ඊට අමතරව, ඩොලරයේ අගය ඉහළ යාම සහ ආනයන පිරිවැය ඉහළ යාම නිසා ආනයනික කිරිපිටි මෙන්ම පරිප්පු, සැමන්, විවිධ සහල් වර්ග සහ ආනයනික අල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ද ඉදිරියේදී ඉහළ යා හැකි බව ඔහු සඳහන් කර ඇත.
තවද ඔහු අනතුරු අඟවා ඇත්තේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත්, සීනි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා නව ඇණවුම් ලබා දීමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට ආනයනකරුවන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. කෙසේ වුවද පවතින තත්ත්වය හමුවේ වුවද, මාස දෙකකට ආසන්න කාලයකට ප්‍රමාණවත් සීනි තොග මේ වන විට රට තුළ පවතින බව එම සංගමය සඳහන් කරන බව වාර්තා වේ.
එහෙත් වෙළෙඳුන් සඳහන් කරන්නේ මෙම නව වර්ධනයත් සමඟ රට තුළ නැවත වරක් ආහාර උද්ධමනයක් ඇතිවීමේ බියක් හටගෙන ඇති බවයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත්, අනෙකුත් අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරයි.