ලංකාවේ ක්‍රිකට්වලට අලුතෙන් ආපු නීති - කරාබු දාන්න කොට කලිසම් වගේම තරගාවලි අතරතුර ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීමත් තහනම්
ශ්‍රී ලංකා ක්‍රිකට් නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම වෙනුවෙන් නව නිතී සහ කොන්දේසි කිහිපයක් එක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇත.
ඒ අනුව ඉකුත් මාර්තු මස 31 වැනිදායින් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අවසන් වූ අතර ඒ අනුව ක්‍රීඩකයින් සඳහා සකස් කළ නව ජාතික කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රීඩකයින් වෙත භාර දී ඇති බව වාර්තා වේ.
මෙම නව කොන්ත්‍රාත් ගිවිසුමට අනුව මෙරට ප්‍රතිරූපය මෙන්ම ක්‍රීඩක ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සහ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගෙන යෑමේ අරමුණු කරගනිමින් ගිවිසුම්ගත ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණු කාර්ය මාණ්ඩලයේ ද ඇඳුම් පැලඳුම්, වචන භාවිතය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මෙන්ම ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද නව සීමාවන් සහ වාරණ පැනවීමටයි පියවර ගෙන ඇත.
එමෙන්ම අසභ්‍ය වචන භාවිතය ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සමාජිකයින්ට තහනම් වන අතර එය උල්ලංඝනය කළහොත් ඊට එරෙහිව දඩ මුදල් පැනවීමට කණ්ඩායම් කළමනාකරු වෙත බලය පවරා ඇති බව වාර්තා වේ.
එසේම ක්‍රීඩකයින් සමාජ මාධ්‍ය භාවිතයේදී කණ්ඩායම් ආචාර ධර්මවලට පටහැනි හෝ කණ්ඩායම් සහජීවනය අඩපණ කරන ආකාරයෙන් කටයුතු කිරීම හෝ සමාජ මාධ්‍ය යොදා ගෙන ගෙවීම සිදු කරමින් සිය ප්‍රතිරූපය ඉහළ දැමීම හෝ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමත් තනනම් වෙන බව සඳහන්.
මේ අතර වෘත්තීය මට්ටමේ පෙනුමක් පවත්වා ගෙන යෑම වෙනුවෙන් තරග, පුහුණුවීම් හෝ සංචාර අතරවාරයේදී ස්ටඩ් හෝ වෙනත් ආකාරයේ කරාබු පැළඳීමද තහනම් කර ඇත.
ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණිමේදී ද නව සීමාවන් ප්‍රකාශයට පත් කර ඇති අතර කොට කලිසම් සහ සෙරෙප්පු පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවන්නට අවසර නොමැති බවද වාර්තා වේ.
එමෙන්ම කණ්ඩායමේ රහස් තොරතුරු ලබා ගැනීම හෝ වංචා සහ තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීම අරමුණු කරගනිමින් සිදුකරන ලිංගික පෙලඹවීම් ආදිය සඳහා ක්‍රීඩකයන් යොදාගැනීම වැළැක්වීමට ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයට ද තරගාවලි අතරතුර ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීම වාරණය කර ඇත.
එමෙන්ම මෙහිදී අවසර ලබා දී ඇත්තේ සිය වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි තම සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමට පමණක් බව ද සඳහන්.