ශ්‍රී ලංකා–බ්‍රසීල හවුල්කාරිත්වයට නව ජවයක්
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීම ඊයේ (20) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ බ්‍රසීල විදේශ අමාත්‍යාංශයේ ආසියා හා පැසිෆික් කලාපීය ලේකම් තානාපති සූසන් ක්ලීබෑන්ක් මහත්මියගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු විය.
විශේෂයෙන් 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.
2022 වසරේ පළමු වටයේ සිට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කළ මෙහිදී ආරක්ෂක, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම් මර්දනය, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව යන ක්ෂේත්රවලට අදාළ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට තීරණය කෙරිණි.
එසේම බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනයේ දායකත්වයෙන් කිරි පට්ටි පාලනය සහ උක් වගාව ආශ්රිත තාක්ෂණික ව්‍යාපෘති සඳහා ඉදිරියේදී අත්සන් තැබීමට දෙරටම සූදානම් වී ඇත. මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල සංචාරය පිළිබඳ මූලික සැලසුම් සාකච්ඡා වූ අතර, දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් යළි පණ ගැන්වීමට ද එකඟතාව පළ විය.
බ්‍රසීල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. කෘෂිකර්මය, වරාය හා නාවික කටයුතු මෙන්ම ක්‍රීඩා යන අංශවලින් නව සහයෝගීතා අවස්ථා ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
අනතුරුව තානාපති සූසන් ක්ලීබෑන්ක් මහත්මිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ කැමැත්ත පළ කළාය.
මෙම සාකච්ඡාවලදී දෙරට අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීමට එකඟ වූ අතර, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තුළින් ලබාගත හැකි ප්රතිලාභ ඉහළ නැංවීමට අවධානය යොමු විය.