ජනපති වෙනුවෙන් වෙන් කෙරූ ජපුර රෝහලේ විශේෂ කාමරය අද සිට මහජනතාවට

Report

මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන් කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ අංක 1001 දරන විශේෂ කාමරය, අද (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දෙනු ලැබූ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.

ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද මෙම රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ප්‍රමාණයකිනි.

කෙසේ වෙතත්, එම සැලසුමට අමතරව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් මෙම සුවිශේෂී කාමරය ද එක් කර තිබිණි.

රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, කිසියම් හෝ දිනක ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් එය රෝගීන්ගේ භාවිතයට නොගෙන වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත.

රාජ්‍ය දේපොළ සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ ගත් මෙම පියවර හේතුවෙන්, අද සිට එම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට හැකිවේ.





සුබ ආරංචියක් - රජය ඉන්ධන සම්බන්ධයෙන් තවත් විශේෂ තීරණයක් ගනී

සුබ ආරංචියක් - රජය ඉන්ධන සම්බන්ධයෙන් තවත් විශේෂ තීරණයක් ගනී

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්