ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතු කරමින්, ඊශ්‍රායලය අද (13) අලුයම ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව, පවතින නොසන්සුන් තත්ත්වය හමුවේ ගුවන් ගමන් සීමා කර ඇති බැවින්, ඊශ්‍රායලයට පැමිණෙන හෝ එරටින් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙස ඉල්ලා ඇත.
එසේම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස උපදෙස් දෙමින්, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙස තානාපති කාර්යාලය අවධාරණය කරයි.
ප්‍රවාහන සේවා තාවකාලිකව නවතා ඇති අතර, සියලුදෙනා ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ඊශ්‍රායල බලධාරීන් උපදෙස් දී ඇත. එමෙන්ම, ශ්‍රී ලාංකිකයන්ට බීමට ජලය සහ වියළි ආහාර තමන් සතුව තබා ගන්නා ලෙසත්, තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවයි. ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරාන විප්ලවවාදී හමුදාවේ ප්‍රධානී හුසේන් සලාමි ඇතුළු ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරි මිය ගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර ඇත. බගේරි එරට ඉහළම හමුදා නිලධාරියෙකු ලෙස සැලකේ.
“ඔපරේෂන් රයිසින් ලයන්” ලෙස නම් කර ඇති මෙම ප්‍රහාර මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්, මිසයිල කම්හල්, හමුදා මූලස්ථාන සහ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් ඉලක්ක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානය ද මෙම ප්‍රහාරවල ඉලක්කයක් වී ඇත.
එහෙත්, නට්සාන් න්‍යෂ්ටික වැඩබිම වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එහි විකිරණ මට්ටම ඉහළ ගොස් නැති බව ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය (IAEA) පවසයි. ඉරානය මේ වන විට ඊශ්‍රායලය වෙත ප්‍රහාරක යානා 200ක් පමණ යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි ඛමෙනෙයි ප්‍රකාශ කර ඇත්තේ, මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ “අධම ස්වභාවය” හෙළි කරන බවත්, එය තම රටට “අමිහිරි ඉරණමක්” සැලසුම් කිරීමක් බවත්ය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ, මෙය ප්‍රහාරයේ ආරම්භය පමණක් වන අතර, ඉරානයේ න්‍යෂ්ටික අවි සන්නිපාතය වැළැක්වීම සහ තම ජනතාව ආරක්ෂා කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බවයි. ඒ සඳහා අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
අමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ, මෙම ප්‍රහාර සඳහා තමන් කිසිදු ආධාරයක් හෝ අනුබලයක් සපයා නැති බවයි. එහෙත්, මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අත්‍යවශ්‍ය නොවන සියලු අමෙරිකානුවන්ට එම කලාපයෙන් ඉවත් වන ලෙස අමෙරිකාව පසුගියදා නියෝග කළේය. මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක ඇත.
