ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට සුභ ආරංචියක් - සෞදි අරාබියේ සියලු පහසුකම් සූදානම්
ඊයේ දින (24) සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා ‘සිලෝන් හවුස් (Ceylon House)’ හිදී මෙවර හජ් වන්දනාවට සහභාගි වන ශ්‍රී ලාංකික බැතිමතුන් වෙනුවෙන් උපරිම සේවාවන් සහ පහසුකම් සැපයීම තහවුරු කිරීමේ අරමුණින්, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුවිය.
ශ්‍රී ලංකා හජ් කමිටුවේ සභාපති රියාස් මිහුලාර් මහතා ඇතුළු කමිටු සාමාජිකයින්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම හජ් ඒජන්සිකරුවන් වෙනුවෙන් ප්‍රධාන මුනස්සිම්වරුන් (Monassims) යන පිරිස් මෙම විශේෂ සාකච්ඡාවට එක්ව සිටියේය.
හජ් වන්දනාවේ වැදගත්ම සහ දුෂ්කරම අදියරක් වන මිනා (Mina) සහ අරෆා (Arafat) යන ශුද්ධ වූ භූමියන්හි ශ්‍රී ලාංකික බැතිමතුන් වෙනුවෙන් පිහිටුවා තිබෙන කුඩාරම් (Tents) සහ සනීපාරක්ෂක පහසුකම්වල වත්මන් තත්ත්වය සහ හජ් මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
වන්දනාකරුවන්ට කිසිඳු බාධාවකින් තොරව තම ආගමික වතාවත්වල නිරත වීමට හැකි වන පරිදි නවාතැන්, වායුසමීකරණ, පානීය ජලය සහ සනීපාරක්ෂක පද්ධති උපරිම මට්ටමින් සකස් කිරීම යන කරුණු සම්බන්ධව නියෝජ්‍ය ඇමතිතුමාගෙ අවධානයට යොමුවිය.
මීට අමතරව මින් පෙර වලංගු සාධාරණීකරණයකින් තොරව වසරකට වැඩි කාලයක් මෙහෙයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් මිලියන 110 කට වැඩි මුදලක් රඳවාගෙන ඇති බවට චෝදනා කරමින් හජ් ක්‍රියාකරුවන් පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට සහ හජ් කමිටුවට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ගොනු කර ඇත.