කොත්මලේ බස් අනතුර විමර්ශනයට විශේෂ කමිටුවක්.
පසුගියදා පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී මාරක බස් අනතුරක් සිදු වුණා.
එම බස් රථ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි අරමුණ බවයි පොලිසිය මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර ප්‍රකාශ කළේ අනතුරට ලක් වූ බස් රථය සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී එහි යාන්ත්‍රික දෝෂයක් තිබූ බවට අනාවරණය නොවූ බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන ජ්‍යෙෂ්ඨ මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් සැදුම්ලත් කමිටුව, සවිස්තරාත්මක වාර්තාව සකස් කර මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා හරහා විෂය භාර අමාත්‍යවරයා වෙත ලබා දෙන බවද ඔහු කියා සිටියා.
පොලිසිය සඳහන් කළේ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ කිහිපයක් ඔවුන්ගේ ඥාතීන්ට ඊයේ භාරදුන් අතර හඳුනා නොගත් එක් මෘත ශරීරයක් ද පවතින බවයි.
අතතුරින් තුවාල ලැබූ 43 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, අනතුරින් තුවාල ලැබූ රිය සහයක මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර මියගිය රියදුරුගේ දේහය ඊයේ තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යනු ලැබුවා.
බස් රථ අනතුරේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් මාස 9ක් වයසැති බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වෛද්‍යවරුන් පවසනවා.
තම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට දිවි පරදුවට තැබූ මවගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ දේහ බණ්ඩාරවෙල, කොස්ලන්ද, මිරියබැද්දේ පිහිටි එම නිවස වෙත ඊයේ රැගෙන එනු ලැබුවා.
