ගල් අඟුරු ගැටලුවට කැබිනට් තීරණය
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කළ ගල් අඟුරු සම්බන්ධයෙන් මතු වූ ප්රශ්නයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීමට ප්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කර ඇති බවයි.
එහිදී ඔහු සඳහන් කළේ, මෙම කමිටුව මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන දෙකෙහිම කථිකාචාර්යවරුන්ගෙන් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත වන බවයි.
එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්
ප්‍රසම්පාදනයේ කිසි ගැටළුවක් නෑ
මේක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදුකළේ. මේක අලුත් දෙයක්...මේකේ ක්‍රියාවලිය වෙන්නේ මේ ගල් අඟුරු පටවන වරායේදී වාර්තාවක් ගන්නවා. ඒ ගන්නේ පිළිගත් පරීක්ෂණාගාරයකින්. ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩිනම් තමයි ලංකාව භාර ගන්නේ. ඒ අනුව අද වෙනකොට නැව් 10ක් ඇවිත් තියෙනවා ඒ නැව් 10ම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5,900ට වඩා වැඩියි. 5,900ට වඩා අඩු නම් භාර ගන්නේම නෑ. නැවෙන් ඇවිල්ලා ලංකාවේදි ගොඩබෑවාට පස්සේ රිපෝට් එකක් ගන්නවා ඒ ගන්නෙත් පිළිගත් පරීක්ෂනාගාරයකින්. ඒ පරීක්ෂණාගාරයත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගත්ත ආයතනයක්.. මේ ගල් අඟුරු බෑවාට පස්සේ එතැනින් රිපෝට් එකක් ගන්නවා. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි වාර්තාව 5,900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරගන්නවා, කිලෝ කැලරි 5,900- 6,100ත් අතර තිබෙනවානම් එක ගුණකයක දඩයක් අයකරනවා. මේක තමයි ක්‍රියාවලිය. මීට පිටින් පරිභාරහිර ක්‍රමයක් නෑ. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිදුවුණේ ඉතිං ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නෑ.
නැව් 6ක වාර්තාවන් ලැබිලා තියෙන්නේ
දැන් මේ ආපු නැව් 10න් නැව් 8ක් සම්පූර්ණයෙන් ගොඩබාලා අවසන් වෙලා තියෙන්නේ. ඉතුරු නැවේ ගල් අඟුරු ගොඩබාමින් තියෙනවා. එයින් නැව් 6ක වාර්තා ලැබිලා තියෙනවා. පළමු නැව් තොගය මෙට්‍රික් ටොන් 59,831ක තොගයක්. එහි තිබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය අර කියන ප්‍රමිතියට නොතිබුණු නිසා දඩයක් අය කළා අයකරපු මුදල ඩොලර් මිලියන 2.07ක්. ඉතිරි නැව්වලදි දෙවැනි නැවට ඩොලර් 436,001ක්, තුන්වැනි නැවට ඩොලර් 484,929, හතරවැනි නැවට ඩොලර් 345,652, පස්වැනි නැවට ඩොලර් 500,192, හයවැනි නැවට ඩොලර් 510,677ක් ලෙස දඩ මුදල් අයකරගෙන තිබෙනවා. අර අපේ පිරිවිතරයන් ඒ කියන්නේ 5,900 - 6,100ත් අතර තිබෙන. ඒවා භාවිතා කරනවා නමුත් ඒ අතර තියෙන නිසා එක් දඩ මුදලක් අයකරගෙන තිබෙනවා. මේ පරීක්ෂණ වාර්තාවල ඇතිවන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සහ ඇතිවෙලා තිබෙන පාඩුව ගණනය කිරීම සඳහා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන්න මොරටවුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පියවර අරන් තියෙනවා.
නැව් 8ක් ගේනකම් බලාගෙන හිටියේ ඇයි ?
ප්‍රතික්ෂේප කරන අවස්ථා දෙකක් තියෙනවා. පැටවුම් වරායේදී කිලෝ කැලරි 5,900ට වඩා අඩු නම් කොහොමත් ප්‍රතික්ෂේප කරනවා. නමුත් එහෙම දෙයක් වෙලා නෑ. ලංකාවෙන් ගොඩබෑමෙන් අනතුරුව පරීක්ෂා කළාම ඒ තිබෙන වාර්තාවල කිලෝ කැලරි 5,900ට වඩා අඩු නම් එතකොට තමයි දෙගුණයක් අය කරන්නේ. 5,900- 6,100ත් අතර නම් දඩ මුදලක් අයකරනවා නමුත් ඒක රිජෙක්ට් කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් වෙලා තිබෙන්නේ පළවෙනි නැවේ පමණයි කිලෝ කැලරි 5,900ට අඩු තත්ත්වයක් වාර්තා වෙලා තිබෙන්නේ එය පමණයි ප්‍රතික්ෂේප කරන ගණයට අයත් වෙන්නේ. එවැනි නැව් දෙකක් සිදුවුණොත් පමණයි එවැනි තත්ත්වයක් ගැන සලකා බලන්නේ. දැනට තිබුණ තත්ත්වය අනුව පළවෙනි නැවෙන් පස්සේ ආපු නැව්වල එහෙම වෙලා නෑ.
පැටවීම් වාර්තා නිවැරදි නම් ගොඩබෑම් වාර්තා වැරදි වුණේ ඇයි ?
එය විය හැකියි. ඒක සාමාන්‍යයෙන් වෙලා තිබෙනවා. එය සිදුවිය ඇක්කේ කෙසේද කියලා තවදුරටත් අධ්‍යනය කිරීම සඳහා මේ ප්රවීනයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා තියෙන්නේ. මේ පරීක්ෂණාගාර දෙකම අපි තෝරගත්තු එකක් නෙමෙයි ලෝකයම පිළිගත් ලැබ් දෙකක්. ගල් අඟුරු ගෙන ඒමේදී අතිතයේ මෙවැනි සිදුවීම් වෙලා ඇති. හැබැයි ඒවා කිසිදු පරීක්ෂාවකට ලක්වෙලා නෑ. මේක තමයි පළමු අවස්ථාව ලෝඩ් පෝට් රිපෝට් එකයි ඩිස්චාර්ජ් රිපෝට් එකයි පරස්පරයක් වුණොත් මොකද කරන්නේ කියලා සාකච්ඡාවක්වත් එන.
පාඩුවක් වෙලානම් කාගෙන්ද අය කරගන්නේ ?
මේක රුපියල් බිලියන ගණනක ගණුදෙනුවක්නේ. එතකොට මේ ඉදිරිපත් වෙන සැපයුම්කරුවන් 10 දෙනාම ඉදිරිපත් වෙන්න ඇත්තේ ටෙන්ඩර් එක ලබා ගැනීමේ අරමුණින්. මේකෙන් එක්කෙනෙක්ට ටෙන්ඩර් එක ලැබුණාම ඉතිරි 9 දෙනාම ඔවුන්ට මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට නොහැකිවීම ගැන කණගාටුවක් තියෙන්නත් ඇති. දැනට ලංකාවේ තියෙන ක්‍රමවේදය අනුව මම කිව්වා කිලෝ කැලරි මෙච්චරක් අඩු වුණොත් දෙගුණයක් දඩ අයකරනවා, කිලෝ කැලරි මෙච්චරක් අඩු වුණොත් එක් ගුණයක් දඩ අයකරනවා, කිලෝ කැලරි මෙච්චරයි නම් දඩ අයකරන්නේ නෑ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. මීටත් වඩා පාඩුවක් වෙලා තියෙනවාද කියලා ගණනය කරන්න තමයි කමිටුවක් දාලා තියෙන්නේ ඒක අනිවාර්යයෙන්ම සැපයුම්කරුගෙන් අයකරනවා. සැපයුම්කරුගේ ඊටත් වඩා තව නැව් ප්‍රමාණයක් ගැන වාර්තා වෙනවානම් අපි එතනින් එහාට තීරණයක් ගන්න සූදානම්. විදුලිබල අමාත්‍යාංශය පැත්තෙනුත් අපි තවත් ක්‍රියාවලියක් කරමින් ඉන්නවා.
විදුලි බල මණ්ඩලය විදුලි මිලේ ඉහළ දැමීමකුත් ඉල්ලලා ගොඩබාන ලද ගල්අඟුරු වලට මොකද කරන්නේ ?
කිසිසේත්ම ජනතාවගේ කරපිටින් යන්න හේතුවක් නෑ මෙවැනි ගනුදෙනුවලදී සැපයුම්කරු මත තමයි ඒ පාඩුව යොදවන්නේ. සැපයුම්කරු තමයි පාඩුව දරාගන්න ඕනේ. මේ කිසිදු නැවක් පාවිච්චියෙන් බැහැර කරන්නේ නෑ. එතැනදි ලැබෙන ක්‍රියාවලියේදී තිබෙනවානම් දෝෂයක් ඒකට තමයි පිළියම් යොදන්න ඕනේ. තව නැව් 15ක් එන්න නියමිතව තිබෙනවා ලබා දී ඇති කාලය අනුව ඒ නැව් 15 එන්න පුළුවන්. මේ පාඩුව ජනතාව මත පැටවීමේ අවශ්‍යතාවයක් රජයට නෑ. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව මේ ගල් අඟුරුත් එක්ක කිසි සම්බන්ධයකුත් නෑ. ඒ වගේම රජයට අයත් මහජන උපයෝගීතා කොමිසම තමයි අවසාන තීරණය ගන්නේ