ජවිපෙ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා..දැන් මොකටද? හදිසි නීතිය නිසා රත් වූ සබයට හදිසි තීරණයක් දැනුම්දෙයි
හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බවට එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06)දින පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ අනුව ඔහු විමසා සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීමට සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද යන්න කියා තමා ප්‍රශ්න කරන බවත් ය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දිට්වා සුළි කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් රට යථා තත්ත්වයට පත් වී නොමැති හේතුවෙන් මෙම හදිසි නීතිය ගෙන එන්නේද යනුවෙන් ප්‍රශ්න කර සිටියා.
"එදා 1988 දී ජනතා විමුක්ති පෙරමුණ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා. ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ හතර නමක් සිරගත කරලා තියෙන්නේ හදිසි නීතිය යොදාගෙන. ඒ නීතිය අනුව තමයි ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත්තේ. දැන් පොලිසිය කියනවා ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නවා නම් විතරයි හාමුදුරුවන්ට ඇප දෙන්නේ කියලා .මේකද රටේ නීතිය කියලා අපි ආණ්ඩුවෙන් අහනවා."
එහිදී විරුද්ධ පක්ෂයේ පිරිස්, ආණ්ඩුවට එරෙහි පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වීම හේතුවෙන් හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමට ඔවුන් තීරණය කළ බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.